Saturday, May 28, 2016

හඬ,රුව සමග‘‘හැඩරුවද‘‘ රැගෙන ප්‍රෙක්ෂකයා අතරට ගිය මුල්ම රූපවාහිනී නිවේදිකාව




 

තම රසිකයන් (ශ්‍රාවකයන් ගේ) බලාපොරොත්තු ඉටු කිරීමට ඇති හෘදයාංගම උද්යෝගය නිසාම කඩිමුඩියේ ගුවන් විදුලියට පැමිණෙන ඇය,කෙතරම් කාර්ය බහුල වුව ද කරන සුපුරුදු සුන්දර කාර්යයක් ඇත.
එනම්,
ගුවන් විදුලි සංස්ථාව ඉදිරියේ ඇති පිච්ච පඳුරෙන් පිච්ච මලක් කඩා ගෙන බෙල්ලට බැඳපු කොණ්ඩ ගුලියෙ පැත්තකින් ගසාගැනීමයි. මෙය ඇගේ සුන්දර පුරුද්දක්.
ඇය නමින්
‘‘ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නිවේදිකා, සුමණා නෙල්ලම්පිටිය‘‘




‘‘මැදිරි නිවේදිකාවක්, වෙළඳ වැඩසටහන් නිවේදිකාවක්,මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාවක්‘‘ යන භූමිකා ත්‍රිත්වයම ගුවන් විදුලිය තුළ නිරූපනය කළ ඇය සුවිශේෂීවන්නේ,
‘‘ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව‘‘ යන වරම ඇයට හිමි වීම නිසාය.
ඇයගේ මතකය එක්තරා රූපවාහිනී සම්මුඛ සාකජ්චාවක දී අවදි කළේ මෙසේය.
අපේ රටේ මුලින් ම රූපවාහිනි සේවයක් ආරම්භ කළේ ‘‘ශාන් වික්‍රමසිංහ‘‘ මහතා. එය ‘‘ටී.එන්.එල් ‘‘නමින් තිබුණේ.
නමුත් 1980 එය රජයට පවරා ගනු ලැබුවා. රජයට පවරාගත් රූපවාහිනි සේවය ‘‘ස්වාධීන රූපවාහිනිය‘‘ ලෙසයි ජනතාව අතරට ආවේ.
මේ සේවාව මුලින් ම පටන්ගත්තේ ප්‍රවෘත්ති කියන්න. ගුවන් විදුලිය ඇතුළෙම මැදිරියක් හදාගෙන තමයි බොහොම අපහසුතා මාධ්‍යයේ ප්‍රවෘත්ති කිව්වේ. සැටලයිට් කුලුන තිබුණේ පන්නිපිටියේ, මුල කොටස පටිගත කරලා පටිය පන්නිපිටියට යවනවා.
ඒ ටික ඉවර වෙන්න කලින් ප්‍රවෘත්තිවල ඉතිරි කොටස පටිගත කර යවනවා. මේ සේවය ආරම්භයේ දීම මටත් ආරාධනයක් ලැබුණා. මම ගියා. මුලින් ම ගුවන් විදුලියේ සිටින ගමන් ම තමයි රූපවාහිනි සේවයේ කටයුතු කළේ. පසුව මම ගුවන් විදුලියෙන් ඉවත් වී පූර්ණකාලීනවම රූපවාහිනි සේවයේ කටයුතු කරන්න ගත්තා. ප්‍රථම රූපවාහිනි නිවේදකයා තමයි ‘‘ඩී.එස්. දයාරත්න.‘‘
තව දුරටත් අදහස් දැක්වූ ඇය එහිදී ඇයට දැණුන වෙනස පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේය.
‘‘අපි ගුවන් විදුලියේ කතා කළේ මයික්‍රෆෝනයක් ඉදිරිපිට. ඒත් රූපවාහිනියේ අපට කටයුතු කරන්න වුණේ කැමරාවක් ඉදිරිපිට. මේක ලොකු වෙනසක්. පහුවෙනකොට හුරු වුණා. මම රූපවාහිනියේ පිරිත් පමණයි ඉදිරිපත් නොකළේ. අනෙක් හැම වැඩසටහනක් ම වගේ ඉදිරිපත් කර තිබෙනවා.‘‘
එසේම ඇය නිතර පවසන රසකතා කහිපයක් අතර විශේෂ එකක් ලෙස සජීවී රූපවාහිනී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමකදී සිදු වූ සිදුවීමක් මෙසේය
‘‘ඔන්න දවසක් රූපවාහිනියේ සජීවි ප්‍රවෘත්ති කියන වෙලාවෙදි (ඒ කාලෙ AC නැහැනේ) මැස්සෙක් ඇවිත් මුහුණේ එහාට මෙහාට වහන්න පටන් ගත්තා.
මේ වගේ වෙලාවක මැස්සෙක් වහන කොට හිතන්න මම කොහොමද මැස්සා එලවන්නේ කියලා.
දැන් මේක කාටවත් කියන්නත් බෑ. මැස්සා එලවන්නත් බෑ. ඔය අතරතුර පොඩි ඉඩක් එද්දී මම ටක් ගාලා මැස්සා එලවනවා. ආයෙත් පටන් ගත්ත ගමන් මැස්සා ආපහු මුහුණේ වහනවා. පැය භාගයක් තිස්සෙම මැස්සව එලව ගන්න බැරුව වින්ද වදයක්.‘‘

 
මේ තවත් සිදුවීමක්

1983 කලබල කාලේදී ඇඳිරිනීතියත් දාපු එක්තරාදවසක ‘‘ගාමිණී දිසානායක මහතායි, ආනන්ද තිස්ස ද අල්විස් මහතායි‘‘ මැදිරියට ආවා රටට කලබල වෙන්න එපා කියලා රූපවාහිනියෙන් ජනතාව දැණුවත් කිරීමේ වැඩසටහනක් එවෙලෙම විකාශය කරන්න ඕනෙ කියාගෙන. රූපවාහිනී වැඩසටහනක් කරද්දි මේකප් දාල එහෙමනෙ කියන්නෙ. ඉතින් ඒ වෙලාවේ වේශ නිරූපන ශිල්පීන් තියා  කවුරුවත්ම හිටියෙ  නෑ.
හිටියෙ ඒ කාලෙ සභාපති‘‘ එම්. ජේ. පෙරේර‘‘ මහත්තය විතරයි.
‘‘ සුමනා දැන් කරන්න දෙයක් නෑ. ඔයාම දන්න විදියට  මේක් අප් එක කර ගන්න‘‘
 කියලා මට කිව්වා.


 මේක් අප් එකත් කරගෙන, ඔකකෝමත් කරගෙන  ඉවර වෙලා ඒ අයව ඉන්ටවීව් කරන්න වුණෙත් මට.
එදා මම කරපු යුද්දෙ බලාගෙන ඉඳල ගාමිණී දිසානායක ඇමති තුමා මට ලයුමකුත් එක්ක රසකැවිළි පාර්සලයක් එවල තිබුනා
‘‘අතිශය කාර්ය බහුල වෙලාවක අපගේ කටයුතුවලට සම්බන්ධ වූ සම්භාවනීය නිවේදිකාවෙනි ඔබට සුළු ත්‍යාගයක්‘‘ කියලා. ඒ ලියුම තවමත් මගේ ළඟ තියෙනවා.
‘‘ඒ කාලෙ සමහර දේවල් වාර්තා කරන්න අපිට රට පුරාම යන්න වුනා. එහෙම යද්දි අපේ වාහන වලට ගල් ගහල නොයෙක් වද වේදනා විඳින්නත් සිද්ද වුනා. ඒවා අද තව වෙනකල් අපේ ගෙදර අයවත් දන්නෙ නෑ‘‘
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අසලම ‘‘255 බී 12, ටොරිංටන් මාවත, කොළඹ 07 ‘‘ යන ලිපිනයේ දැනටක් පදිංචි වී සිටින ආදරණිය ‘‘සුමණා නෙල්ලම්පිටිය‘‘ මේ සියලු අත්දැකීම් රසමුසුව සහිපත් කරමින් ඉතා සරළ දිවියක් ගත කරන අතර විශ්‍රාම ගිය පසුව ද ඇය ගේ ගෞරවණීය සේවය දැණුදු  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ලබා දෙන්නීය.

Thursday, May 26, 2016

සියක් අවුරුදු ඔබට වේවා වේවා ජය සිරි මංගලම්



‘‘‘‘‘‘‘ආවඩා‘‘‘‘‘‘‘
යනුවෙන් කෑගසා මහ ගුරුන්නාන්සේ දුම්මල අහුරක් අතට ගෙන දැවෙන පන්දමට දමා ගසනවාත් සමග
‘‘‘‘‘‘‘‘‘අයිබේව‘‘‘‘‘‘‘‘‘
යනුවෙන් කියන්නට ගමේ ගැමියෙකු සුදානම්ව සිටීම තොවිල් ගෙවල් වල සම්ප්‍රදායයි.
ඉහත වචන දෙකම භාවිත කරන්නේ ‘‘‘ආයුෂ වර්ධනය වේවා, ආයුෂ බොහෝ වේවා‘‘ යන අදහස ගෙන දීමටයි.
මෙය ‘‘ආවැඩිම‘‘ යනුවෙන් හඳුන්වන අතර එය අප ගේ ශාන්ති කර්ම වල යොදා ගන්නා ප්‍රධානම අංග වලින් එකකි.
සෑම ශාන්තිකර්මයකින්ම සිදු කරන්නේ ‘‘ආතුරයා‘‘ ගේ මනස සුවපත් කිරීමයි. මෙහිදී බොහෝ විට යොදා ගැනෙන්නේ ‘‘බුදුරජානන් වහන්සේගේ ගුණ සමුදායන්‘‘ය.
මෙලෙස යොදා ගන්නා කවි අතර සිරස පාද කවි වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
සිරසපාද කවි ගායනය ඉතා පැහැදිළිව ගායනා කරනු ලබන කවි විශේෂයකි. මන්ද යත් ඒවා හොඳින් ආතුරයා ගේ මනසට ග්‍රහනය විය යුතු බැවිනි.
කායික රෝග බොහෝමයක මූලාරම්භය වන්නේ මානසික පීඩාවන්ය. එම නිසා මෙවැනි ශාන්ති කර්ම වලින් බොහෝ ප්‍රතිඵල අත් වි ඇති බවට ජනශ්‍රැති පර්යේෂණ ග්‍රන්ථ තහවුරු කර ඇත.
‘‘මහනුවර සමයේ දී මහරජකු ගේ උදහසට ලක්‌ වූ එක්තරා හිමිනමක්‌ හදිසියේ වැළඳුන රජු ගේ හිසරදයක්  සුවපත්  කිරීමට සිර බත් කමින් සිටියදී ම  සිරසපාද කවි ගොතා ඇති බවත් ඒවා ශ්‍රවණය කිරීමෙන් පසු  රජු සුවපත් ව හිමිනමට එකෙනෙහිම නිදහස ලබා දුන් බවත් එවැනි එක්‌ කතාවකි.‘‘ 

 
සිරස පාද කවි වල විශේෂ ලක්ෂණ:-
1.සිරස පාද කවි නිර්මාණය කිරීමේ දී ශුබ ශාන්තියට උචිත ගන පිහිටුවීමක් සිදු කරනු ලැබේ.
2. එම කවි වලටම ආවේනික වූ විවිධාකාරයේ කාව්‍යාලංකාර භාවිතා කිරීම

3. මාත්‍රා රටා සහ විවිධ විරිත් ක්‍රම බහුල වශයෙන් යොදා ගැනීම



      
 හිස මුව තුල බෙල්ල දෙවුර දෑතේ දසැගිලි අගිනේ
  ලැමැද උදර නාභි කටිය දෙවුකුල දෙකවල දෙදනේ
          .... ආ .....
  කෙන්ඬ බොලඩ දෙබඩි පතුල දසැගිලි දස නිය අගිනේ
  සූවිසි මුනිදු අනුහසයෙන් ඔබ පිරිපත දුර හරිනේ
           ..... අා .....

  සිරස සවන් යුග මුඛ තුල බෙල්ලේ
  දෙවුර දෙවැලමිට දස අතැගිල්ලේ
  දන උකුලද බඩ කෙන්ඩ වලල්ලේ
  දොසැ හැර පලයන් පතුල සියල්ලේ


 සිරස නලලත දෙනෙත දෙසවන් 
                                           මුඛය ගෙල දොස හැර සියල්
 දෙවුර අත් දසැගිලිද වැලමිට 
                                          දෝස දුරුවිය එ බඩවැල්
 කටිය තුනටිය දෙදන කෙන්ඩේ 
                                          දෝස දුරු වි ජය මගුල්
 සියක් අවුරුදු ඔබට වේවා 
                                          වේවා ජය සිරි මංගලම්

  

  දකුණු හිස ඇස දකුණු කම්බුල දකුණු උරහිස දකුණතේ
 දකුණු ඉලපළු උකුල කලවා වටොර සහ එම දනහිසේ
 දකුණ කෙන්ඩය බොලට විළුඹය පතුල පසැගිලි නිය අගේ
 දකුණු සැරියුත් තෙරිදු බලයෙන් දකුණු ඇලයේ දොස බසේ

 වමත හිස ඇස වමත කම්බුල වමත උරහිස වම් අතේ
 වමත ඉලපළු උකුල කලවා වටොර සහ එම දනහිසේ
 වමත කෙන්ඩය බොලට විළුඹය පතුල පසැගිලි නිය අගේ
 වමත මුගලන් තෙරිදු බලයෙන් දකුණු ඇලයේ දොස බසේ

   ලකුණු බලා වෙස්‌සන්තර වංග ගිරියෙ ඉඳ තපසට
   ලකුණු එසක්‌ රජ වැඩලා සිටියේ හිමයේ වට කොට
   ලකුණු ඇති  ව ගත්තු වරම් එම සක්‌ දෙවි අනුහසයට
   දකුණු උරේ වළලු ලමින් වින දොස දුරුවෙයි පොඩි කොට
  

සිරසපාද කවි ශාන්තිකර්මයකදී යොදා ගනු ලබන්නේ ‘‘අනවින,කොඩිවිණ,හදි හූනියම් කැපීම‘‘ යන අවස්ථාවලදීය.

 
විශේෂයෙන්ම  හූනියම් කැපීමේදී ‘‘ආතුරයා ගේ හිසේ සිට දෙපතුළ දක්වාම වළලු පළඳවා එක් එක් ශරීරාංය ගැන කියවෙන කවි ගායනා අතරතුර එම වළලු කපා දැමීම‘‘ සිදු කෙරේ.


ආතුරයා ගේ හිස මුදුනේ  සිට දෙපතුල දක්‌වා වූ සියලු ශරීර කොටස්‌වල ඇති දෝෂාන්ධකාර  දුරු කිරීමට මෙම සිරසපාද කවි වලින් හැකි වන් බව පැරැණ්නන් විශ්වාස කළ අතර ඇතැම් ප්‍රදේශ වල මෙම කවි ‘‘තිරසපාද කවි‘‘ ලෙස ද හැඳින්වීය.
මෙම කවි නියමිත පරිදි ගන පිහිටුවමින් නිර්මාණය කොට ඇත්තේ ‘‘තොටගමුවේ ශ්‍රී රාහුල‘‘ සහ ‘‘විදාගම මෛත්‍රී ‘‘ යන හිමිවරුන් ගේ සංඝ පරම්මරාවල් වලින් පැවත් එන භික්ෂූන් වහන්සේලා විසින් යැයි ජනශ්‍රැති පර්යේෂණ වලින් මේ වන විටත් තහවුරු වී ඇති අතර
යකැදුරන්  විසින් එම මතය බැහැර කරමින් ඒවා තම යකැදුරු පරම්පරාවල් වලින් පැවත එන බවට පිළිගනී.
ශාන්තිකර්මයක අවසාන භාගයේ දී ඉදිරිපත් කරනු ලබන මෙම සිරසපාද කවි  හොඳින් සවන් දීමට හැකි වන පරිදි ඉදිරිපත් කළ යුතුය.
ආතුරයා ගේ රෝගි තත්ත්වයන් පිළිබඳව කල් තියා දැන ගන්නා යකැදුරා සිරස පාද කවි ගයමින් නානාප්‍රකාර රංගනයන්හි නායැලෙති. විටෙක මහ හයියෙන් හඬා වැළපෙමින් ද, විටෙක මහ හයියෙන් සිනා සෙමින් ද විවිධාකාර කෝළම් කරති
මේ සියලු දෙයින් අපේක්ෂා කරන්නේ රෝගියාට සතුට ගෙන දීම තුළින් ඔහු ගේ මනස සුවපත් කිරීමයි. මේ හේතුවෙන් ආතුරයා ගේ සිතට දැනෙන සතුට කාලාන්තරයක් යන තුරුම නොනැසී පවතින්නේ රඟ දැක්වු සියල්ල චිත්‍රපටයක රුප රාමු මෙන් නැවත නැවත මෙනෙහි වීම නිසාය.
2004 වර්ෂයේ ‘‘ ලෝක නර්තන දිනයට‘‘ සමගාමීව ‘‘සංඛ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයට‘‘ නිබන්දනයක් පල කරන ‘‘මහැදුරු, ලයනල් බෙන්තර ගේ මහතා‘‘ එය අවසන් කරන්නේ මෙසේය.

‘‘බෞද්ධයන් වශයෙන් අපේ ආතුර පක්‌ෂය (රෝගීන්) මේ ශාන්තිකර්ම කර්මවලින් ලබාගත්තේ ඉමහත් අස්‌වැසිල්ලකි. එය අතිමහත් පුණ්‍ය කර්මයකි‘‘.

Wednesday, May 25, 2016

වෙසක් තොරණේ සොඳුරු ආඥාදායකයා




වෙසක් මංගල්‍යයත් සමගම ඒ හා බැඳී පවතින විවිධ උප සංස්කෘතීන් කිහිපයක් බස්ධ වී ඇත.
1.
දන්සැල් සංස්කෘතිය
2.
තොරණ සංස්කෘතිය
3.
නාට්‍ය සංස්කෘතිය
ඉන් ප්‍රධාන වන අතර අද මා ඔබගේ දැණුවත් වීම සඳහා ඉදිරිපත් කරන්නේ තොරණ සංස්කෘතියත් සමග ගහට පොත්ත ලෙස බද්ධ වී ඇති උදාර චරිතයක වගතුගයි.
මිට වසර කිහිපයකට පෙරනම් ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෝරිඩෝ වල නියත වශයෙන්ම සැරිසැරූවෙකි. ඉන් ඔබට පැහැදිළි වෙනව ඇති නේ මොහුත් ගුවන් විදුලියේ ඵලයක් බව.
ඒ අතීතයට මුල පිරූ ආකාරය ඔහු එක්තරා රූපවාහිනී සාකජ්චාවක දී ප්‍රකාශ කළේ මෙසේය

 








මම මුලින්ම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න හිතා ගෙන ඒ කාලෙ ළමා වැඩසටහන් කරපු ‘‘සිරි අයියට‘‘ තැපැල් පත් සිය ගණනක් එවුව. ඒත් මට එකකටවත් අත්තර ලැබුනෙ නෑ. පස්සෙ කර්ණාරත්න අබේසේකර මහත්තය ලවුව මේ ගැන අහල බැලුව. එතකොට කියල තිබුනෙ කොළඹ ළමයි විතරයි ගන්නෙ කියල. මම ඒ වෙනකොට හිටියෙ කළුතර.
මං ඉලංදාරි වෙද්දි කොළඹ තරුණ කවි සමාජයේ සාමාජිකයෙක් වුනා. ඒ කාලෙ තමා ‘‘සිරි අයිය‘‘ ආන්ත්‍රා වුනේ. ඒ අවමඟුල වෙනුවෙන් කවි සමාජයෙන් කවි පෙළක් ප්‍රකාශයට පත් කළා. කොහොම හරි ඒ කවි ටික එදා දෙනො දාහක් ඉදිරියෙ ගායනා කළේ මම.
අන්තිමට මාව ප්‍රතික්ෂේප කරපු සිරි අයිය වෙනුවෙන් කවි කියන්න වුනෙ මට‘‘‘‘‘‘‘‘‘‘‘
ඔබ දකින, ඔබ නරඹන, ලංකාවේ සතර දිබ්බාගයේ අටවන සියලු තොරන් වල දෙබස්,නාට්‍ය,විරිඳු ආදී නානාප්‍රකාර සෙයියාවෙන් වචන හරඹ කරමින් ඔබව තොරණ වෙත ඒකාත්මික කරන්නේ ඔහුයි.
ඔහු නමින් ‘‘මර්වින් සේනාරත්නය‘‘
වසර 50 කට අධික කාලයක් තිස්සේ තොරණ කතා රචනයේ අත්දැකීම් ඇති ප්‍රවීණයකු වන මර්වින් සේනාරත්නයන් හා තොරණ කතා කලාවේ යට ගියාව ගැනත්, ඔහුගේ භූමිකාව ගැනත් තොරතුරු බිඳක් මෙසේ ගෙන හැර දක්වමි.


 

ඔබ නරඹන දර්ශනීය තොරණක කතා රචකයාට හිමිවන්නේ වැදගත් තැනකි. සංගීතය මුසු බැතිබර ගීත හා කවි ගායනාවලින් දහම් කතාවක් රසවත්ව පෙළ ගසන්නේ කතා රචකයා ය. බුද්ධාලම්බන ප්‍රීතියෙන් තොරණ නරඹන්නට ඔබව පොලඹවන්නේ ඔහු ය. බෞද්ධ සාහිත්‍ය ඉතිහාසය මෙන් ම බුද්ධ ධර්මය පිළිබඳව ද ප්‍රමාණවත් දැනුමක් නැත්තෙකුට හොඳ තොරණ කතා පිටපත් රචකයෙකු විය නොහැකි ය.
වෙසක් තොරණකට කතාව ලියන්න ඔහු මුලපුරා ඇත්තේ 1961 ගොතටුවේ අයි.ඩී.එච්. හන්දියෙ තොරණින්. ක්ෂාන්තිවාදීජාතක කතාවට අනුව එය ලියා ඇති අතර එහි ජනප්‍රියත්වය හේතු කොට ගෙන පිට පිට පස් වතාවක්ම ඒ තොරණ කතාවම ලියන්නට සිදුවී ඇත.
මේ කාලය වන විට මෙතුමා ගුවන් විදුලියට සම්බන්ධ වී සිටි නිසා බොහෝ ගුවන් විදුලි ශිල්පීන් ගේ සහය ද ඇතිව මෙම කාර්යය කර ගෙන ගොස් ඇත්තේ ඉතා සොම්නස් සිතිනි. එකල මාධ්‍යක් ලෙස බොහෝ දුරට අසන්නට තිබුනේ ගුවන් විදුලිය නිසාත් එම ශිල්පීනගේ ගායනා හා රඟපෑම් ගුවන් විදුලියෙන් අසා තිබුණ නිසාත් තොරණ බලන්න එන පිරිස් ප්‍රමාණයෙන් වැඩි විය.


 
 
මෙතුමා මෙම කාර්යයට අතපොවන්නට පෙර ප්‍රසිද්ධ තොරන් කතා රචකයන් ලෙස කටයුතු කර ඇත්තේ
කරුණාරත්න අබේසේකර.
සරත් ආනන්ද විමලවීර,
සිසිර කුමාර මාණික්කආරච්චි
වැනි ප්‍රවීණයන් වන අතර මුල් කාලයේ මෙතුමා තොරන් කවි ගායකයෙකු ලෙස කටයුතු කර ඇත.
මුල් කාලින තොරණ වල තිබී ඇත්තේ ගීත රසයක් පමණක් වන අතර එයින් නරඹන්නන්ට ලැබුනේ ගීතමය ආස්වාදයක් පමණි. මේ සරළ ක්‍රමය වෙනස් කළ මර්වින් සේනාරත්න
ජාතක කතාවේ හරය
නාට්‍යමය අවස්ථා
ගැටුම්
ආදී වැදගත් සියලු කරුණු ඒකරාශී කර ගනිමින් ජාතක කතාව ඇසුරු කරගෙන වරතමානයේ සිදුවෙන එවැනි තොරතුරු ද මනා ලෙස සම්බන්ධ කරමින් රංගානුභූතීව කතාව ඉදිරිපත් කිරීමට සාමාර්ථ්‍යෙයකු විය. කුඩා දරුවෙකුට වුව තේරුම් තේරුම් ගත හැකි වන පරිදි කතා කරන බස යොදාගැනීමත්, ඒ සඳහා කවි, විරිඳු, ගීත, හා ගාථා භාවාත්මක ශෛලියකින් ඉදිරිපත් කිරිමත් නිසා වෙසක් තොරණට නව ආලොකයක් ඇති වූ බවනම් නොරහසකි.
බුද්ධාලම්බන ප්‍රීතිය හා ඓතිහාසික වීරත්වය දනවන ගුවන් විදුලි නාට්‍ය රචනා කිරීමෙන් වාර්තාවක් පිහිටුවා ඇති මර්වින් සේනාරත්න මහතා බොදු ගීත රචකයෙන් ද මුල් කාලයේ ගීත රසිකයින් අතර ජනප්‍රියත්වයට පත් විය.නොකියාම එදා ඇසළ මහේ’, ‘
බලන්න බුදු සාමිනේ’,
අක්කෙ ටිකක් ඉන්නකෝ
වැනි මතකයේ රැදුන ගී බොහෝමයක් එතුමා විසින් රචනා කර ඇත.
සෑම වසරකම වෙසක්, පොසොන්, ඇසළ මාසවල තොරණ සහ පහන් කූඩු සඳහා කතා රචනා කිරීමට ඉස්පාසුවක් නැතිව ඔහුට ඇරයුම් ලැබේ. තමාගෙන් පසුව මේ කටයුත්ත කරට ගැනීමට සැලකිය යුතු තරමේ අයකු නොසිටීම ගැන මර්වින් සේනාරත්න මහතා තුළ ඇත්තේ තරමක කනගාටුවකි. බැලූ බැලූ තොරණවල කතා රචකයා ඔහුය. අඩසිය වසකට අධික කාලයක් ලංකාවේ වැඩිම තොරණ ගණනක එක දිගටම කතා රචනා කරමින් මර්වින් සේනාරත්නයන් ලෝක වාර්තාවක් තබා ඇත්දැයි විටෙක අපට ද සිතෙයි. තොරණ සහ පහන් කූඩු සඳහා ඔහු මෙතෙක් ලියා ඇති කතා ගණන දෙදාහකට අධික ය. ඒ වෙනුවෙන් විවිධ සංවිධාන හා බෞද්ධ සංගම් මගින් ඔහු සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

ඉතා දිගු ඉතිහාසයකට උරුම කම් කියන මෙතුමා ගේ මෙම කලාව පිළිබඳව මෙම වෙසක් සමයේ ගෙන හැර පානු විනා අන් කවර සමයක් වැදගත් වේද?
මෙම ලිපිය කියවා අවසානයේ දැනට රෝගාතුරව පසුවන එතුමන්ට නිදුක් නීරෝගීසුවය හදවතින් ම ප්‍රාර්ථනා කරන්නට ඔබට සිත් පහළ වනු ඇතැයි ද මා විශ්වාස කරමි.