Saturday, June 11, 2016

ගීතයෙන් පෑ කරණා දයා සොඳුරු සන්නිවේදිකා ‘‘දයා ද අල්විස්‘‘



 
  මහනුවර අම්පිටියේ කාමල් හිල් කන්‍යාරාමයේ තමයි මම ඉගෙන ගත්තෙ. එහිදී අපිට කියවන්න නියමවෙලා තිබුණේ ඉංග්‍රිසි  පොත්පත් පමණයි. ඔය අතරේදී අපේ විදුහලට අලුතින් සිංහල ගුරුවරියක් පත්වෙලා ආවා.

එතුමිය තමයි අපේ විද්‍යාලයේ පුස්තකාලයට සිංහල පොත් ගත්තේ. එතකන් ඉංග්‍රිසි පොත් පමණක් පරිහරණය කරපු අපිට මේක ලොකු ආස්වාදයක් වුණා. අපි සිංහල පොත් ගෙදර අරගෙන ගිහින් කියෙව්වා. මම කියවපු එම සිංහල පොත් අතරේ ඉතා කුඩා පොතක් තිබුණා.

මට දැන් ඒ පොතේ නම මතක නැහැ. ඒ පොතේ රාම - රාවණා කතාව තිබුණා. හැබැයි ඒ කතාව මම එතෙක් දැනගෙන හිටිය රාම - සීතා කතන්දරය නෙවේ. එයට වෙනස් කතාවක් ඒකෙ තිබුණා. ඒ කතාවට අනුව සීතාව නැවැත රාම භාරත දේශයට රැගෙන ගියායින් පස්සේ රාවණ ගැන ඇය සිහි කරනවා. එපමණක් නොවේ. රාවණගේ රූපය ඇන්ද බුලත් කොළයක් ඇයගේ කොට්ටය යට ඇය තබාගෙන සිටිනවා. මෙයින් පෙනී යන්නේ රාවණ පිළිබඳ මතකය ඇයට ආස්වාදයක් වූ බවයි.ඒ වගේම රාවණට ඇය ගරු කළ බවයි.

ඇත්තටම ඒක එහෙම වෙන්න ඕන කියල මමත් හිතනවා. මොකද සීතාගෙ පතිවත රැකගෙන ඉන්න පුළුවන් වුණේ රාවණ රජුගේ සහයෝගයෙන්. සීතාට විතරක් තනියෙන් පතිවත ආරක්ෂා කරගන්න බැහැනේ. මේ හේතුව නිසා වෙන්න ඇති ඇය රාවණගේ රූපය සහිත බුලත් කොළයක් තමන්ගේ කොට්ටය යට තියාගෙන හිටියේ.

 මේ කාරණය මගේ හිත තදින් පැහැරගත්ත. රාවණ රජු සැබෑ ආදරවන්තයෙක් බව මට හැඟුණා. මොකද සැබෑ ආදරවන්තයෙක් කියන්නේ තමන්ගේ ප්‍රියම්බිකාව අනාථ කරල පැත්තකට දාන කෙනෙක් නෙවෙයිනේ. රාවණ රජුට ඕනකමක් තිබුණ නම් එය කරන්න බැරි කමක් තිබුණෙත් නැහැ.එහෙත් සීතාව නැවත රාම රැගෙන යනතුරු රාවණ ඇයගේ පතිවත ආරක්ෂා කළා.

මේ සිද්ධිය තමයි මට මේ ගීතය ලියන්න මූලික වුණේ. එය ගීතයක් බවට පත්වීම පිටුපසද එක්තරා සිදුවීමක් තියෙනවා. අපට හිටපු ඉතාම දක්ෂ ගීත රචකයෙක් තමයි කේ. ඩී. කේ. ධර්මවර්ධන. ඔහු ඒ දවස්වල මාත් සමඟ එකට ගුවන් විදුලියේ වැඩ කළේ. ඔහු වින්සන්ට් ප්‍රේමසිරි ගායකයාණන්ට ගීතයක් රචනා කරනවා රාම - සීතා සිද්ධිය පදනම් කරගෙන.

"සීතාවනි ඔබ හැඩරුව ඇති බව -දිවිහිමියෙන් පතිදම් සුරකින බව"

යනුවෙන් තමයි එම ගීතය ආරම්භ වෙන්නේ. ඔය ගීතය ප්‍රචාරය වනවිට මට නැවැත මං අර කියවපු රාම - සීතා කතන්දරය සිහිවෙනවා. ඒ පිළිබඳ මම එවකට අපිත් සමඟ සේවයේ යෙදුණු දයා තෙන්නකෝන්ට පැවැසුවා. දයා තෙන්නකෝන් යමක් දිහා අලුතින් බලන්න පුළුවන් කෙනෙක්. ඔහු මට කිව්ව කේ. ඩී. කේ. ගෙ ගීතයට පිළිතුරක් ලෙස එය ලියන්න කියලා. මම ඒ පදවැල ලියල මාලනි බුලත්සිංහලට දුන්නා. එච්. එම්. ජයවර්ධන සංගීතවත් කළා. ඉන්පසු එය ගුවන් විදුලිය හරහා ප්‍රචාරය වෙනකොට අපේ රටේ පිළිගත් කලාකාරියන් රාශියක් එම ගීතය හරහා රාම - සීතා කතාව විකෘති කර ඇති බවත් සීතා පිළිබඳ වැරැදි චිත්‍රයක් මවා ඇති බවත් ප්‍රකාශ කොට එම ගීතය ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස එවක ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වූ රිජ්වේ තිලකරත්න මහතාගෙන් ඉල්ලා සිටියා.

මේ ආන්දෝලනය දිගින් දිගටම යනකොට එතුමාට මේ සම්බන්ධ පියවරක් නොගෙන සිටීමට බැරිවුණා. ඒ නිසා දවසක් මටත් කතා කරල එතුමාගේ කාමරේට මේ ගීතය ඉතා සුපරික්ෂාකාරීව ශ්‍රවණය කළා. ගීතය අහල ඉවර වුණාට පස්සේ එතුමා ඒ ගීතය ගැන හරියට සතුටු වුණා. එතුමා කිව්ව එහි කිසිදු වරදක් නැහැ කියලා. ඒ වගේම සාම්ප්‍රදායික කතාවට මගේ අතින් වෙලා තියෙන නව අර්ථකථනයටද එතුමා පැහැදුණා. ඒ නිසා නිල වශයෙන් එම ගීතය තහනමකට ලක් වුණේ නැහැ. නමුත් විරෝධකරුවන්ගේ දැඩි විරෝධය නිසා නොනිල වශයෙන් එම ගීතය ස්වයං වාරණයකට ලක්වුණා වගෙයි. ඒ නිසා මෙම ගීතය වැඩිය ප්‍රචාරය වුණේ නැහැ. කිහිපදෙනකු හැරුණු විට මෙවැනි ගීතයක් මාලිනි බුලත්සිංහල ගායනා කරනවා කියාවත් එම ගීතය මගේ රචනයක් බව වත් දන්නේ නැහැ.

රාම කුමරුනේ ඇත්ත කියන්නම්
ඔබ ළඟ නෑ මා පැතූ ආදරේ
රාවණ රජු මට සිහිවෙනවා
ලක් දෙරණේ සුව සිහිවෙනවා...

නම රළු වුවත් හදවත රළු නැහැ
ලැබුණා ඔබගෙන් සුවසහනේ
රාම කුමරුනේ ඇත්ත කියන්නම්
රාවණ ළඟ විය සැබෑ ආදරේ .....


ගී සංකල්පනාව : දයා ද අල්විස්
ගායනය : මාලනි බුලත්සිංහල
තනුව සහ සංගීත නිර්මාණය : එච්. එම්. ජයවර්ධන



මා ඉහත සඳහන් කළ මේ දිර්ඝ විස්තරය පල වූයේ මවු බිම පුවත්පතේ. ඇය නමින් ‘‘දයා ද අල්විස්‘‘ . ගායන ශිල්පී මිල්ටන් පෙරේරා වෙනුවෙන් හැටේ දශකය අගදී ලියු කඳුළු අතරට සිනා රැලි වෙමි,’ ගීතයේ පටන් දයා ද අල්විස් මහත්මිය ලියා ඇති ගී ප්‍රමාණය තුන්සියය ඉක්මවයි. 1964 දී ගුවන් විදුලියේ සහන නිවේදිකාවක ලෙස එක්වුණු දයා ද අල්විස් දශක 3ක් පමණ එහි අඛණ්ඩව සේවය කළ නිහතමානී නිවේදිකාවක්.


එමෙන්ම එතුමිය ගේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ තමන් විසින්ම ලියවුනු තමන් ගේම ගීතයකට නැවත තමන් විසින්ම පිළිතුරු ගීයක් රචනා කිරීම. එහි මුල් ගීතය ඇය රචනා කරන්නේ විශාරද මල්කාන්ති නන්දසිරි මහත්මිය ගේ සරළ ගී වැඩසටහනකට.

"සහසක් පැතුමන් ඉපදී මියගොස්"

යනුවෙන්. පසුව සනත් නන්දසිරි මහතාගේ ඉල්ලීමකට අනුව ඔහු ගේ සරළ ගී වැඩසටහනකට

"සහසක් පැතුමන් නැත මා පැතුවේ"

යනුවෙන් කලින් ගීයට පිළිතුරු ගීයක් ඇය ලියන්නේ එකම සිතුව්ල්ලක දෙපැත්තක් අපූරුවට විදහා දක්වමින්.
ඇය විසින් ලියැවුනු අපේ ගීත සාහිත්‍යයට ඓතිහාසික වටිනා කමක් ගෙන එන අපූරු ගීතයක් තමයි මීලඟ ගීතය.



අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ...

පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුණා දෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වා දෝ...

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ...

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟක දි ලබන දිනේ...

ගී සංකල්පනාව: දයා ද අල්විස්
තනුව සහ සංගීතය: නන්දා මාලිනී
ගායනය: නිරංජලා සරෝජිනී

ඉහත ගීතයේ අයිතිකරුවන් ත්‍රිත්වය දෙස බැලීමේදී ඔබට එය වැටහේවි. මොකද එයට දායක වී තිබෙන්නේ කාන්තාවන්ම තිදෙනෙක්. මෙයයි එහි ඓතිහාසික වටිනාකම.

ඇය සොබා දහමට ඉතා ප්‍රිය කරන්නියක්. එකී සොබාදහමේ විචිත්‍රත්වය ඇගේ සෑම ගීතයක් තුලින්ම මනාවට විදහා දක්වන්නට ඇය උපරිම උත්සාහ දරල තිබෙන බව පහත ගීත වලින් ඔබට මනාවට වැටහේවි.

සපු මල් සුවඳක් සේ සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ...
සපු මල් සුවඳක් සේ ...

හැන්දෑ වලාකුළේ අටවක හඳ මඬලේ
මේ හැම තැන ඔබ සැඟවී සිටියා
මා පමණයි දුටුවේ...
සපු මල් සුවඳක් සේ ...

ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ
සවනත සනහා මා ළඟ උන්නා
රැය පමණයි දුටුවේ...
සපු මල් සුවඳක් සේ ...

සපු මල් සුවඳක් සේ යළි නෑ හැර යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා
ඇයි මුළු ලොව දුටුවේ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : දයාරත්න රණතුංග
ගායනය : අමරා රණතුංග

 

හිරු ට අයිති බව හිරු පවසනවා
විල ට අයිති බව විල පවසනවා
බිඟු ට අයිති බව බිඟු පවසනවා
නුඹ කාට ද හිමි නෙළුම් මලේ...

හිරු ආවා ම ලු ඔබ පිබිදෙන්නේ
විල හින්දා ම ලු ජීවත් වන්නේ
බිඟු ට ලු මධු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාට ද සෙනෙහෙ පුදන්නේ...

හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුළ සැඟැ වී සැනැහීයන්
ආදරයක් නැති මිනිසෙකු දෑතට
නෙළුමේ නුඹ හසුවන්න එපා...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නීලා වික්‍රමසිංහ



මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදූ...
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මදූ...

වත්සුණු තවරා කවුළුව අතරින්
හිස පොවලා දවසක් දා
මතකයි අත වැනුවා...

අත්තල හඬවා මහ මඟ කුර ගා
ඔබ යද්දී දවසක් දා
මතකයි අත වැනුවා...

දිය සුළි නැගි ලා වෙරළට එද්දී
බෙලි කටුවේ සැඟවීලා
මුතු ඇටයක් තිබුණා...

සසරේ පෙර දා වරම් ලැබූ ලෙස
බෙල්ලෙකු වී සඟවා ලා
මම ඔබ රැක ගත්තා...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : හෙක්ටර් සිල්වා
ගායනය : හෙක්ටර් සිල්වා සහ පුණ්‍යා කත්‍රිආරච්චි


ගීතය කියන්නේ ඉතා සියුම් කලා මාධ්‍යයක්. එය ඉතා සුන්දර දෙයක්. ගීතය කියන්නේ හදවත සියුම් ලෙස ස්පර්ශ කරන රසභාවයන් මත බිහිවන දෙයක් මිස ගොරහැඩි ශබ්ද මත බිහිවන්නක් නොවන බවයි ඇගේ මතය. ඇගේ ගීත සාහිත්‍යය පුරාම දිවයන්නේ ඇය හා පරිසරය අතර තියෙන සබඳතාවයි. පරිසරයයි ඇගේ ජීවිතයයි කියන්නේ එකක් මිස දෙකක් නෙවේ.


‘‘ කුඩා කාලේ මම චිත්‍ර අඳින්න බොහෝම දක්ෂයි. මං ඇඳපු හැම චිත්‍රයකම වගේ තිබුණේ ගහ, කොළ, ඉර, හඳ වගේ සොබාදහම සම්බන්ධ වස්තූන්. එයින් මිදෙන්න මට අද බැහැ. ඒ නිසා මගේ ගීත බොහොමයක පාරිසරික විචිත්‍රත්වය සැඟවිලා තියෙනවා. සොබාදහම ඇසුරෙහි යම් නිර්මාණයක් කරනකොට එය මගේ හදවතට දැනෙනවා වැඩියි. මං හිතන්නේ ශ්‍රාවකයන්ටත් එහෙමයි. මොකද අපි හැම දෙනාම සොබා දහමේ දායාද. ඒ නිසා වෙන්න ඇති ඉහත ගීත හරහා සියුම් මල් සුවඳක් දැනෙන්නේ. ඉහත ගීත දෙකට අමතරව මා නීලා වික්‍රමසිංහට රචනා කරන ලද "හිරුට අයිති බව හිරු පවසනවා" ගීතයද රොහාන් ශාන්ත බුලේගොඩට රචනා කරන ලද "සඳක් නම් බැස යන්න තිබුණා" ගීතයද අබේවර්ධන බාලසූරිය හා ඉන්ද්‍රානි බෝගොඩ ගයන "නොතැවෙන් සූරිය කාන්තා - නොහඬන් සූරියකාන්තා ගීතයද මාලිනී බුලත්සිංහල ගයන "පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ" ගීතයද මා හා සොබා දහම අතර පවතින සබඳතාවන්හි ප්‍රතිඵලයි.‘‘


ඇය විසින් ලියූ ගිත අතර එක්තරා සන්ධිස්ථානයක් සටහන් වන්නේ ගුවන් විදුලියේම නිවේදිකාවක ලෙස සේවය කළ පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මිය ගේ සරළ ගී වැඩසටහනක් වෙනුවෙන් ලියැවුනු ගීතයක්.

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිරකරලමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා...

අහසට ඔසවන විටකදී නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහි මත පියකරු දසුනක් වේ නම්
ඔබේ රුව ඒ තුළ දැවටෙනවා...

පාළුව ඉවසා මා තනිවෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැලපෙනවා...

අහසත් පොළවත් ඔබම ද මාහට
නැතුවද ඔබ මා හැරයන්නේ
තහනම් දේසේහි බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමුවන්නේ...


ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ගුණදාස කපුගේ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි



‘‘ඔය ගීතය මා අතින් ලියැවෙන්නේ ක්‍ෂණයකින්. පුණ්‍යා මගෙන් ගීතයක් ඉල්ලුව. එය මම භාරගත්තාට කවදාවත් ලියවුණේ නැහැ. පුණ්‍යගේ සරල ගී වැඩසටහන කරන්න තියෙන අන්තිම දවස්වල ඇය මගෙන් ඒ පිළිබඳ විමසීමක් කළා. මට කරන්න දෙයක් නැතිව ගියා. මම භාරගත්ත වැඩේ කොහොම හරි කරන්න ඕන නිසා මම ඇස්දෙක වහගෙන ටිකක් වෙලා ඉඳලා ඒ පිළිබඳ සිතුවිල්ලක් ගොඩනඟා ගන්න හැදුවට එය නියමාකාර ලෙස ගොනු වුණේ නැහැ. ඉන්පසු යළිත් ඇස්දෙක වහලා අත ඔළුවට තියන් කල්පනා කර කර ඉඳල ඇස් දෙක අරිනකොටම "දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට" කියන පදවැල ක්‍ෂණයකින් මගේ හිතට ආවා. ඒ මත ඉතුරු පද පේළි ටික ක්‍ෂණයෙන් ලියවුණා. ගුණදාස කපුගේ විසින් නිර්මාණය කරන ලද තනුවද පුණ්‍යාගේ හැඟුම්බර ගායනයද මගේ පදවැලට ලොකු සාධාරණයක් ඉෂ්ට කළා‘‘.


කාන්තාවක්, පෙම්වතියක් වශයෙන් අප හැම දෙනාටම පොදු කාරණාවක් සිතින් පමණක් පෙම් කිරීම. මෙය ඇතැම් විට කාන්තාවන් ගේ ඇති අහංකාරකම නිසාත් ලජ්ජාශීලී බව නිසාත් සිදු වන්නක්. එවැනි සිතුවිලි ජීවිතයේ කොයි මොහොතක හෝ අපට දැනෙනවා. සමහර විට ඒ වෙනකොට අපි ප්‍රමාදවෙලා වැඩියි. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. අපිට ප්‍රායෝගිකව කරගන්න බැරි බොහෝ දේ පිළිබඳ අපි සංවාද කරන්නේ හිත සමඟ හදවත සමඟ පමණයි අපිට බොහෝ වෙලාවට ගනුදෙනු කරන්න වෙන්නේ. ඒ නිසා ඒ බොහෝ දේ අපේ හදවත ඇසුරෙහි බිහිවෙලා, වර්ධනය වෙලා, නැතිවෙලා යනවා. එවන් පොදු සිතුවිළි සමුදායක් එක්තැන් කොට ඇය අතින් ලියැවුනු අපූර්ව වදන් පෙලකි මීළඟ ගීතය.


මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ...

මහා සයුර ලෙස මා හිතුවේ
පෙණ බුබුලක් සේ ඔබ දුටු දේ
විසල් දෙරණ ලෙස මා දුටු දේ
පිනි කඳුළක් මෙනි ඔබ හිතුවේ...
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ...

සඳ මඬලක් සේ මා දුටු දේ
ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ
ජීවිතය ම ලෙස මා පැතු දේ
එක් මොහොතක් විය ඔබ හමුවේ...
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ...

ගීත සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය :නිර්මලා රණතුංග



ඇය බොහෝ  ගීත රචනා දායාද කළේ ගායිකාවන්ට. නමුත් ඒ අතර ගායකයන් වෙනුවෙන් රචනා කළ අතිශය ජනප්‍රිය වූ ගීත ද තිබුන බව පහත සඳහන් ගීත වලින් ඔබට තහවුරු වනු ඇත.


නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු මියේ වී අපේ ඒ කතා...
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ඈත් බව දැනී ලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ....
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණා දෝ නොහිමි ආදරේ......

රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා...
පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙට ට උරුම වූ...

දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතූ
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : රෝහණ බෝගොඩ

 

සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා
වැරදී ලොවේ අප ආ නිසා
දෛවේ දුන්නෙ මේ වේදනා..
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා...

නෑ වරම් ළංවී හිඳින්නට
ප්‍රාර්ථනා කෝ මෙදා
මේ මොහොත පමණී ලැබෙන්නේ
නාඬනූ ඒ නිසා...
මා නැති හෙට දා සුව දේ සැප වේ
නෑ මාගෙන් චෝදනා...

සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා...

කාට දෝ දුන් වේදනා දෝ
ඈත සංසාරයේ
මා හඹාගෙන මේ ලෙස ආවේ
පාළු වී ජීවිතේ...
බෝ දුර එක් වී ආවට වෙන් වී
යා යුතුයි මේ ලෙසේ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : රෝහණ බෝගොඩ


ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා කාට කියම් දෝ
කෙලෙස කියන්න ද මං
අප සිත් හඬන තරම්...

ඔබ නැවතුන තැන මගෙ හිත ඔබෙ ළග
වෙනතක නැතේ ලැගුම්...
කවුරු දකින්න ද කෙලෙස කියන්න ද
අද මා හෙළන සුසුම්...

ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළව යි...
හමු වූ තැන්වල ගස් වැල් වැලපෙයි
නොහඬමු ඔබයි මමයි...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : අර්නස්ට් සොයිසා
ගායනය : ප්‍රියා සූරියසේන

 


එක්ටැමින් බැඳි පාළු මැදුරේ
නිසල රෑ යාමේ
පවුරු මුර දා ආදරේ
සිර කර තැබූ වෙලේ
වැලපුණා ඔබ සඳුට දුක දී
උන්මාද චිත්‍රාවන් වගේ...

සියලු සම්පත් අහිමි වූ දා
සුවඳ ආදරයේ
හව්හරණ නැති කුරිරු ලොව මැද
විකල් වූ ලෙසිනේ
සරණ යැද ඔබ හඬා වැටුණා
පටාචාරාවන් වගේ...

මා නිසා ඔබ නැවත ඉපදී
පිනැති මා ළදුනේ
කඳුළ අවට ද සිනා ඇති බව
පසක් කර දිවියේ
සිනාසෙනවා රැජිණියක ලෙස
ලෝකය ම දිනුවා වගේ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය: සෝමපාල රත්නායක
ගායනය : රෝහණ සිරිවර්ධන

 

කඳුළු අතරට සිනා රැළි වෙමි
විඩාවට සෙවණක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී...

සුවඳ සුදු මල් හිනා වෙද්දී
කවුළු දොර ළඟ අතු කොනේ
ඒ මැදින් මම හොරෙන් අතුරමි
හදවතේ බැතිබර සෙනේ
සැඳෑවක ඔබ සඳැල්ලට වී
තනි ව ලතැවෙන වෙලාවේ
ගීයකට රස පද එවන්නම්
සඟවලා රන් වලාවේ...

බුදුන් පාමුල වැඳ වැටෙද්දී
බැතින් බර වී සැනහිලා
පිදූ මල් මැද සුවඳ දුම් මැද
පැතුම් පුරවමි හිනැහිලා
යහනකට වී අඳුර ඉවසා
රැය ගෙවී යද්දී ඉබේ
සඳ කැරැල්ලක් සමඟ පාවෙමි
කවුළුවෙන් කුටියට ඔබේ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව නිර්මාණය සහ ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා

ඇගේ හිතවතෙක් මට පැවැසූ සිද්ධියක් පිළිබඳ රචනා වූ සත්‍ය සිද්ධියක් මුල් කර ගනිමින් රචනා වූ මීළඟ ගීතය මගේ කාලයේ නම් පාසල් සිසුවියන් අතර ඉතාම ජනපියයි. මොකද තම බාල සහෝදරියන්ගෙ පෙම් පළහිලවු වලට උදළු දාපු අයියල ගැන තමා මේ ගීයෙන් කියවෙන්නෙ . නමුත් දයාද අල්විස් මහත්මියගෙ හිතවතා පැවසූ කතාවෙ නම් කෙසේ හෝ අවසානයේඔවුන් ප්‍රෙමය ජය ගන්නව. පෙම්වතියට තමන්ගේ සහෝදරයන්ට කටින් කියන්න බැරිදේ දයා මහත්මිය ගෙ ගීතයෙන් ගීතයෙන් සන්නිවේදනය වුණ බව ඇය කියන්නෙ ඉතා නිරහංකාරව. ඇය ද නොසිතූ විදියටඑම ගීතය ජනප්‍රිය වු අතර අද වනතුරුත් නිරතුරුවම වගෙ වාදනය වන ගීතයක් ලෙස ද මෙම ගීතය හැඳින්විය හැකියි. කොටින්ම මෙම ගීතයේ සියුම්ව විවේචනයට ලක්වන ‘‘චන්ඩි අයියලත්‘‘ මේ ගීතයට හිත යටින් හරි කැමති බව නම් කිව යුතුමයි.


පෙම් කළ වරදට මට වද දෙන්නේ
පෙම් කළ හිතකින් නොවෙන නිසා
අයියන්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ...

යන එන හමුවන මඟ අවුරාලා
ආදරයක් වැළකිය හැකි දෝ...
නොපෙනෙ ද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා...

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියන්ඩියෙ ඔබෙ අණට හොරා...
ආදරයේ දුක ඔබට දැනේ වී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ

මේ ඇය විසින් ලියැවුනු ඉතා ජනප්‍රිය ගීත කිහිපයක් පමනයි. නමුත් මෙහිදී විමසිය  යුතු කරුණ වන්නේ මෙවැනි සරළ මෙන්ම සුභාවිත ගීත ඔබට කොතැනකදී හෝ ඇසෙන විට එම සංකල්පය මුලින්ම ඉපැද්දූ ගීතයේ නියම හිමිකරු ඔබට යම්තාක් දුරකට හෝ සිහි වෙනවා ද? යන්නයි. (මා මෙයින් ගායක ගායිකාවන් අඩුතක්සේරු කිරීමට උත්සාහ ගන්නවා නම් නොවේ)

නමුත් ඇය ගේ ගීත වලින් ඇය විඳින ආශ්චර්ය ඇගේ වදන් වලින්ම මෙසේ ඉදිරිපත් කරන්නේ ඔබට මා කී කාරණය පිළිබඳ දෙවරක් සිතා බැලීමටයි.

‘‘‘‘‘‘මා ලියපු ගීත බස් රථයක හෝ වෙනත් ස්ථානයකදී වාදනය වෙනව ඇහෙනකොට මට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙනවා. අපෙනුත් යමක් ගීත ක්‍ෂේත්‍රයට වගේම සමාජයටද සිදුවුණා නේද? කියන හැඟීම ඇති වෙනවා. මගේ ජීවිතේ තේමාව තමයි කඳුළු අතරට සිනා රැල්ලක් වන අතරම කෙනකුගේ විඩාවට සෙවණක් වීම. එදත් අපි අපේ නිර්මාණ හරහා අනවශ්‍ය ලෙස ඉස්මතු වීමට උත්සාහ කළේ නැහැ. අදත් එහෙම නැහැ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අපි වැඩකරන කාලේ අපේ සහෝදර සහෝදරියන් රැසක් නිර්මාණකරණයට එළැඹුණා. ඒ හැම දෙනා අතරෙම තිබුණේ බොහොම සුහද හිතවත්කමක්. එක්කෙනෙක් පරයා තව කෙනෙක් නැඟෙන්න උත්සාහ කළේ නැහැ. ඒ වගේම තමයි නිවේදිකාවන්, නිෂ්පාදිකාවන් වශයෙන් අපි ගීතවලට දුන් හැඳින්වීම් ඒ ගීත ජනතාව අතර ජනප්‍රිය වෙන්න අනිවාර්යයෙන්ම උදවු වුණා. අද වගේ එක ගීතයක් ඉවරවෙනකොට කිසිදු හැඳින්වීමක් නැතිව තව ගීතයක් ප්‍රචාරය කළේ නැහැ. එවැනි හැඳින්වීමක් නොමැති නිසා ගීත ඇහෙනවා මිසක් රසවින්දනයට මිනිස්සු යොමු වෙන්නේ නැහැ. ඒ කාලෙ අපි ගීතවලට දුන් හැඳින්වීම් ගීත වගේම වටිනාකමින් යුක්ත වුණා. එහෙම බලනකොට අපේ අතීතය ඉතා රසවත්. වැදගත්. ඒ ආත්ම තෘප්තිය හදවතින් තුරුලු කරගෙන අනාගතය දිහා බලා ඉන්නවා‘‘‘‘‘‘‘‘‘‘‘‘

ඇය ඇගේ ආත්ම තෘප්තිය හදවතින් තුරුළු කර ගෙන අනාගතේ දිහා බලන් ඉඳීවි. එහෙත් අප.................ඇයගේ නිර්මාණ හිත පුරා රසවිඳි අප කෙසේ ද ඔහේ බලන් ඉන්න ඇයට නැවුම් බලාපොරොත්තුවක ජායාවක්වත් පෙන්වන්නෙ....?

ඇය විසින් නිර්මානය කළ තවත් ගී කිහිපයක්..... 



නොතැවෙන් සූරියකාන්තා
සූරියකාන්තා
නොහඬන් සූරියකාන්තා
සූරියකාන්තා...

සූරිය නාමෙන් නම ලදිමී
සූරිය වත මෙන් රුව ලදිමී
සූරිය පැහැයෙන් සළු ලදිමී
සූරිය කුමරුනි ඔබ පතමී...

නෙලුම් විලේ නැත ඔබෙ ලන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් මල් ලන්දූ
මා නොවෙදෝ ඔබ දිනු ලන්දූ...

අහස පොළොව කෙදිනද හමුවන්නේ
මලකට හිමිකම් කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ
මා එන පෙරමග බලා සිටින්නේ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය : අබේවර්ධන බාලසූරිය සහ ඉන්ද්‍රානි බෝගොඩ

 


මගේ හිත ගැන ඔබ පමණි දන්නේ
ඔබේ හිත ගැන මා පමණි දන්නේ
මහා වරදක් වී ද මිනිසුන්නේ
කාට දෝ හිත් රිදුම් අපි දුන්නේ...

සදා කල් ඔබ අහස මෙනි මට
දරා ගමි දුක් මිහිමවුන් ලෙස
මහා මෙර මෙනි සොවින් නොසලිත
බලා උගනිමි හෙටත් එම ගුණ...

මගේ හිත ගැන ඔබ පමණි දන්නේ...

අතීතේ අප ලෙසින් සිටි අය
කලාතුරකින් හමු නොවෙද වෙන
එවන් හිත් දෙස බලමු දිනයෙක
අපේ හිත් දෙස බලන නෙත් ගෙන...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : සනත් නන්දසිරි
ගායනය : නිර්මලා රණතුංග

 

සවනට හුරු කළ රළු කිණිහිරි හඬ
මකා නැගෙයි පොඩි පුතුගෙ හිනා හඬ...

දුක සැප සම ලෙස එකට බෙදාගෙන
මට දිරි දෙන මගෙ ආදරියේ
මා පුතු මේ රළු කම්මල මැද්දෙන්
උගතෙකු කළ යුතු අනාගතේ...

සොඳුර ඔබට කිසි සැපතක් දෙන්නට
තව බැරි විය එය තවත් දුකකි මට
යකඩ ගොඩක් මැද මා දිවි ගෙව්වද
හඳුනන්නිය ඔබ මසිත මලක් බව

ඔබෙයි මගෙයි මගෙ පුතුගෙයි ජීවය
යකඩ ගොඩක් මතම යි රැඳුණේ
මා විඳිනා දුක වැටහෙනවා නම්
යකඩ ගොඩ ම උණුවෙයි ළඳුනේ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව, සංගීත නිර්මාණය සහ ගායනය : නිමල් ගුණසේකර


යළි උපදින්නම් අලුත් කෙනෙකු වී
නැවුම් ලොවක නව හිරු සඳු සෙවනේ
ඔබේ සෙනෙහසේ සුවය ලබා
සුවය ලබා...

අමතක කර දා පසුකළ මංපෙත
මා සිත සැනසේ පවන් රොදක් වී
ඔබේ දයාබර නෙතු කැල්මේ
නෙතු කැල්මේ...

යළි උපතක් දුන් සෙනෙහේ නාමෙන්
දෙපා සිඹින්නම් මෙලෙසින් මතු දා
දෙවියෙකි ඔබ මේ මහපොළොවේ
මහ පොළොවේ...

ගීත සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නන්දා පතිරණ

මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා..
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ......

මගෙ ජීවිතය ම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුණේ..
එතරම් අසරණ වී
නෑ කිසි දින තනි වී...

කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස දෙවි කමකී...
ඒ දෙවිකම හැඟුණේ
ඔබ යළි ආ දිනයේ.....

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ

 

එහෙත් මෙහෙත් නෑ මුහුණ පෙනෙන්නේ
පාළුව යාළු වුණේ පැතූ වදන් නෑ
ළබැඳි සිනා නෑ කාලය ඉබි ගමනේ...

ටිකින් ටික ට අඩිපාර පළල් වී
රිය සලකුණු ඇඳුණා
ඊයේ නිවහන මහ මැදුරක් වී
අංගනය ද සැදුණා...

කහවණු හිනැහේ අද මතු මහලේ
මා හිත බිම් මහලේ
හිමියනි මා නෙත කඳුළු බලන්න ද
කහවණු නළවන්නේ...

බුමුතුරනක් කර යසි'සුරු අතුරා
හිත් මල එහි පර වී
පළිඟු විමන් තුළ දුක් සඟවන්න ද
සැදුණේ රන් කාසී...

ගීත සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නිර්මලා රණතුංග

 

විරහා දුකින් වෙළී
ඔබගේ නුවන් පෙඟී
කළ කී කතා මැකී
මා පෙළා...

තහනම් සෙනේ බැඳී
දඬුවම් ලබා ඉමී
ගිය දේ ගියා වැනී
නොලැබිලා...

ඔබෙ රූ නෙතේ ඇඳී
කිසිදා නොයයි මැකී
අහිමී සෙනේ පතා
සැමදා බලා ඉමී...

සෙනෙහේ ලැගුම් සොයා
කොහෙදෝ ගියේ අපී
සසරේ පතා නැතී
ගමනේ මුළා වුණී...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ලතා වල්පොල සහ සරත් තිසේරා



පියාපත් දෙන්න මට ඉගිලෙන්න හිස් අහසෙ
පුබුදන්න දිගු නින්ද සෙමෙන් මුදු වදනකින්
ගඟක් සේ ඉඩ දෙන්න ගලන්නට ජීවිතේ
බලා ඉමි එනතුරා ඔබ මවෙත සෙනෙහසින්
පියාපත් දෙන්න මට...

දවස පුබුදන හිනා හෙට දිනේ ලැබේ දෝ
ගිම් නිවන පවන් පොද කඳු මතින් ඇදෙයි දෝ
සිනා පිරි සැඳෑවේ සුසුම් සුව දැනේ දෝ
අඳුරු තිර දෙපළු වී ඔබේ රුව පෙනේදෝ...

සතුට පිරි මතකයේ මිහිර ඉහිරුණු හිතේ
ඔබෙන් සැදි මගෙ ලොවට අතවනමි අද දිනේ
පුරා හඳ ඇති රැයක් ලෙස දැනෙයි ජීවිතේ
සුන්දරයි මගේ ලොව ළඟාවන මතු දිනේ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : යමුනා විනෝදිනී