Wednesday, May 25, 2016

වෙසක් තොරණේ සොඳුරු ආඥාදායකයා




වෙසක් මංගල්‍යයත් සමගම ඒ හා බැඳී පවතින විවිධ උප සංස්කෘතීන් කිහිපයක් බස්ධ වී ඇත.
1.
දන්සැල් සංස්කෘතිය
2.
තොරණ සංස්කෘතිය
3.
නාට්‍ය සංස්කෘතිය
ඉන් ප්‍රධාන වන අතර අද මා ඔබගේ දැණුවත් වීම සඳහා ඉදිරිපත් කරන්නේ තොරණ සංස්කෘතියත් සමග ගහට පොත්ත ලෙස බද්ධ වී ඇති උදාර චරිතයක වගතුගයි.
මිට වසර කිහිපයකට පෙරනම් ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෝරිඩෝ වල නියත වශයෙන්ම සැරිසැරූවෙකි. ඉන් ඔබට පැහැදිළි වෙනව ඇති නේ මොහුත් ගුවන් විදුලියේ ඵලයක් බව.
ඒ අතීතයට මුල පිරූ ආකාරය ඔහු එක්තරා රූපවාහිනී සාකජ්චාවක දී ප්‍රකාශ කළේ මෙසේය

 








මම මුලින්ම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න හිතා ගෙන ඒ කාලෙ ළමා වැඩසටහන් කරපු ‘‘සිරි අයියට‘‘ තැපැල් පත් සිය ගණනක් එවුව. ඒත් මට එකකටවත් අත්තර ලැබුනෙ නෑ. පස්සෙ කර්ණාරත්න අබේසේකර මහත්තය ලවුව මේ ගැන අහල බැලුව. එතකොට කියල තිබුනෙ කොළඹ ළමයි විතරයි ගන්නෙ කියල. මම ඒ වෙනකොට හිටියෙ කළුතර.
මං ඉලංදාරි වෙද්දි කොළඹ තරුණ කවි සමාජයේ සාමාජිකයෙක් වුනා. ඒ කාලෙ තමා ‘‘සිරි අයිය‘‘ ආන්ත්‍රා වුනේ. ඒ අවමඟුල වෙනුවෙන් කවි සමාජයෙන් කවි පෙළක් ප්‍රකාශයට පත් කළා. කොහොම හරි ඒ කවි ටික එදා දෙනො දාහක් ඉදිරියෙ ගායනා කළේ මම.
අන්තිමට මාව ප්‍රතික්ෂේප කරපු සිරි අයිය වෙනුවෙන් කවි කියන්න වුනෙ මට‘‘‘‘‘‘‘‘‘‘‘
ඔබ දකින, ඔබ නරඹන, ලංකාවේ සතර දිබ්බාගයේ අටවන සියලු තොරන් වල දෙබස්,නාට්‍ය,විරිඳු ආදී නානාප්‍රකාර සෙයියාවෙන් වචන හරඹ කරමින් ඔබව තොරණ වෙත ඒකාත්මික කරන්නේ ඔහුයි.
ඔහු නමින් ‘‘මර්වින් සේනාරත්නය‘‘
වසර 50 කට අධික කාලයක් තිස්සේ තොරණ කතා රචනයේ අත්දැකීම් ඇති ප්‍රවීණයකු වන මර්වින් සේනාරත්නයන් හා තොරණ කතා කලාවේ යට ගියාව ගැනත්, ඔහුගේ භූමිකාව ගැනත් තොරතුරු බිඳක් මෙසේ ගෙන හැර දක්වමි.


 

ඔබ නරඹන දර්ශනීය තොරණක කතා රචකයාට හිමිවන්නේ වැදගත් තැනකි. සංගීතය මුසු බැතිබර ගීත හා කවි ගායනාවලින් දහම් කතාවක් රසවත්ව පෙළ ගසන්නේ කතා රචකයා ය. බුද්ධාලම්බන ප්‍රීතියෙන් තොරණ නරඹන්නට ඔබව පොලඹවන්නේ ඔහු ය. බෞද්ධ සාහිත්‍ය ඉතිහාසය මෙන් ම බුද්ධ ධර්මය පිළිබඳව ද ප්‍රමාණවත් දැනුමක් නැත්තෙකුට හොඳ තොරණ කතා පිටපත් රචකයෙකු විය නොහැකි ය.
වෙසක් තොරණකට කතාව ලියන්න ඔහු මුලපුරා ඇත්තේ 1961 ගොතටුවේ අයි.ඩී.එච්. හන්දියෙ තොරණින්. ක්ෂාන්තිවාදීජාතක කතාවට අනුව එය ලියා ඇති අතර එහි ජනප්‍රියත්වය හේතු කොට ගෙන පිට පිට පස් වතාවක්ම ඒ තොරණ කතාවම ලියන්නට සිදුවී ඇත.
මේ කාලය වන විට මෙතුමා ගුවන් විදුලියට සම්බන්ධ වී සිටි නිසා බොහෝ ගුවන් විදුලි ශිල්පීන් ගේ සහය ද ඇතිව මෙම කාර්යය කර ගෙන ගොස් ඇත්තේ ඉතා සොම්නස් සිතිනි. එකල මාධ්‍යක් ලෙස බොහෝ දුරට අසන්නට තිබුනේ ගුවන් විදුලිය නිසාත් එම ශිල්පීනගේ ගායනා හා රඟපෑම් ගුවන් විදුලියෙන් අසා තිබුණ නිසාත් තොරණ බලන්න එන පිරිස් ප්‍රමාණයෙන් වැඩි විය.


 
 
මෙතුමා මෙම කාර්යයට අතපොවන්නට පෙර ප්‍රසිද්ධ තොරන් කතා රචකයන් ලෙස කටයුතු කර ඇත්තේ
කරුණාරත්න අබේසේකර.
සරත් ආනන්ද විමලවීර,
සිසිර කුමාර මාණික්කආරච්චි
වැනි ප්‍රවීණයන් වන අතර මුල් කාලයේ මෙතුමා තොරන් කවි ගායකයෙකු ලෙස කටයුතු කර ඇත.
මුල් කාලින තොරණ වල තිබී ඇත්තේ ගීත රසයක් පමණක් වන අතර එයින් නරඹන්නන්ට ලැබුනේ ගීතමය ආස්වාදයක් පමණි. මේ සරළ ක්‍රමය වෙනස් කළ මර්වින් සේනාරත්න
ජාතක කතාවේ හරය
නාට්‍යමය අවස්ථා
ගැටුම්
ආදී වැදගත් සියලු කරුණු ඒකරාශී කර ගනිමින් ජාතක කතාව ඇසුරු කරගෙන වරතමානයේ සිදුවෙන එවැනි තොරතුරු ද මනා ලෙස සම්බන්ධ කරමින් රංගානුභූතීව කතාව ඉදිරිපත් කිරීමට සාමාර්ථ්‍යෙයකු විය. කුඩා දරුවෙකුට වුව තේරුම් තේරුම් ගත හැකි වන පරිදි කතා කරන බස යොදාගැනීමත්, ඒ සඳහා කවි, විරිඳු, ගීත, හා ගාථා භාවාත්මක ශෛලියකින් ඉදිරිපත් කිරිමත් නිසා වෙසක් තොරණට නව ආලොකයක් ඇති වූ බවනම් නොරහසකි.
බුද්ධාලම්බන ප්‍රීතිය හා ඓතිහාසික වීරත්වය දනවන ගුවන් විදුලි නාට්‍ය රචනා කිරීමෙන් වාර්තාවක් පිහිටුවා ඇති මර්වින් සේනාරත්න මහතා බොදු ගීත රචකයෙන් ද මුල් කාලයේ ගීත රසිකයින් අතර ජනප්‍රියත්වයට පත් විය.නොකියාම එදා ඇසළ මහේ’, ‘
බලන්න බුදු සාමිනේ’,
අක්කෙ ටිකක් ඉන්නකෝ
වැනි මතකයේ රැදුන ගී බොහෝමයක් එතුමා විසින් රචනා කර ඇත.
සෑම වසරකම වෙසක්, පොසොන්, ඇසළ මාසවල තොරණ සහ පහන් කූඩු සඳහා කතා රචනා කිරීමට ඉස්පාසුවක් නැතිව ඔහුට ඇරයුම් ලැබේ. තමාගෙන් පසුව මේ කටයුත්ත කරට ගැනීමට සැලකිය යුතු තරමේ අයකු නොසිටීම ගැන මර්වින් සේනාරත්න මහතා තුළ ඇත්තේ තරමක කනගාටුවකි. බැලූ බැලූ තොරණවල කතා රචකයා ඔහුය. අඩසිය වසකට අධික කාලයක් ලංකාවේ වැඩිම තොරණ ගණනක එක දිගටම කතා රචනා කරමින් මර්වින් සේනාරත්නයන් ලෝක වාර්තාවක් තබා ඇත්දැයි විටෙක අපට ද සිතෙයි. තොරණ සහ පහන් කූඩු සඳහා ඔහු මෙතෙක් ලියා ඇති කතා ගණන දෙදාහකට අධික ය. ඒ වෙනුවෙන් විවිධ සංවිධාන හා බෞද්ධ සංගම් මගින් ඔහු සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

ඉතා දිගු ඉතිහාසයකට උරුම කම් කියන මෙතුමා ගේ මෙම කලාව පිළිබඳව මෙම වෙසක් සමයේ ගෙන හැර පානු විනා අන් කවර සමයක් වැදගත් වේද?
මෙම ලිපිය කියවා අවසානයේ දැනට රෝගාතුරව පසුවන එතුමන්ට නිදුක් නීරෝගීසුවය හදවතින් ම ප්‍රාර්ථනා කරන්නට ඔබට සිත් පහළ වනු ඇතැයි ද මා විශ්වාස කරමි.

සුදු කළු වර්ණ ජේදනයෙන් සොබා දහම් සිරියාව

Add caption
Add caption
Add caption
Add caption
Add caption
Add caption
       
Add caption
Add caption







ගීතමය වදන් තුලින්ම ප්‍රශ්ණ කරමින් ධ්වනිතාර්ථ ඉස්මතු කිරීමේ කලාව


                                          





යෝජිත ගීතය:-

හොඬින් නෙළුම් මල ගෙනයන - බතික් රන් පටින් දිදුළන
ඇතින්නියේ.............
යදම් අමතකද පා බැඳි විලංගුවේ

පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොම්දැයි
ඇතින්නියේ දරු සෙනහස ගාල් කළේ මන්දැයි
ඇතින්නියේ.............
ඇතින්නියේ දරු සෙනහස ගාල් කළේ මන්දැයි

වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දැයි
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ.............
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි

ගායනය :- අතුල අධිකාරී
තනුව:- රෝහණ වීරසිංහ
පද :- රත්න ශ්‍රී විජේසිංහ


 
  


 මෙම ගීතය අසන ශ්‍රාවකයාගේ සිතෙහි එක වරම පරිකල්පනය වන්නේ
‘‘සොඬින් නෙළුම් මලක් ගෙන පෙරහරක යන ඇතෙකි‘‘

ගීතමය වදන් වලින් ප්‍රශ්ණ කිරීම හා ඊට පිළිතුරු ගීතය තුළින්ම  ගොඩනගා ගැනීම

(පළමු කොටස)

01.   මෙහිදී ‘‘ඇතින්නියේ ‘‘ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ ඇයි?
02.   අප දන්නා තරමින් පෙරහැර සඳහා ඇතින්නියන් සහභාගී වේද?
03.   ඇතින්නියන් කෙදිනකවත් බතික් රන් පතින් සැරසී සිටිනු අප දැක තිබේද?
04.   අප දකින බොහෝ පෙරහැර වල ඇතින්නන් තබා ඇතෙක්වත් නෙළුම් මල් රැගෙන යයි ද?

පිළිතුරු

බොහෝ විට අප සොඬින් නෙළුම් මල් ගත් ඇතුන් ගැන අසා ඇත්තේ ඉතිහාස කතා වලය. නමුත් අප දැක ඇති පෙරහර මංගල්‍ය වල නෙළුම් මල් සොඬින් ගත් ඇතුන් නැත. ඇත්තේ බෙර පද තාලයට හෝ වෙනත් අපහසුතාවක් මත් ඒ මේ අත පැද්දෙමින් යන ඇතුන්ය.
එසේනම් මෙම ගීතයේදී ‘‘නෙළුම් මලින් ‘‘ සංකේතවත් කර ඇත්තේ රූපයයි. ස්ත්‍රියක් ගත්විට ඇයගේ ආභරණ අතර ප්‍රධාන තැන හිමි වන්නේ ඇයගේ රූපයටයි.
ඒ අනුව ස්ත්‍රිය පෙරටු කර ගන්නේ රූපයයි. නමුත් එම රූපයම පෙරටු කරගෙන සමාජයේ වෙසෙන සෑම ස්ත්‍රියක්ම වරප්‍රසාද නොලබයි. එසේ තම රූපයෙන් අසීමාන්තික ලෙස වරප්‍රසාද ලබන යම් ස්‍රත්‍රියක් වේද ඇය පිළිබඳ සමාජයේ පවතින්නේ අප්‍රසාදයකි.පිළිකුළකි. ඇය නමින් ‘‘ගණිකාවකි‘‘. පුරාණ සාහිත්‍යයට අනුව එය ඉතා වර්ණනාත්මක රැකියාවක් ලෙස සැළකුව ද වර්ථමානයේ අයුතු ලෙස මුදල් උපයන්නියක් ලෙස ඇය සමාජයෙන් කොන් කරයි.

බතික් රන් පටින් දිදුළන .....ඇතින්නියේ.............

 යනුවෙන් අමතන්නේ  අලංකාර වස්ත්‍රාභරණ වලින් සැරසී ගත් කාන්තාවකටය.
වර්තමානයේ සාමාන්‍ය ස්වරූපය ඉක්මවා අසීමිත ලෙස ශරීරය වර්ණවත් කර ගන්නේ වෛශ්‍යාවන් බව නොරහසකි. එමනිසා අසීමාන්තිකව විලාසිතා කිරීමට සාමාන්‍ය තරුණියකට හිමිවන්නේ ඉතා අඩු ඉඩ කඩකි. එසේ කළ විට සාම්ප්‍රදායිකත්වය ඉක්මවා යන්නනක් ලෙස එය බොහෝ විට සමාජයේ ගර්හාවට ලක් වේ.

‘‘යදම් අමතකද පා බැඳි විලංගුවේ‘‘ යනුවෙන් අදහස් කරන්නේ පා බැඳි යකඩ දම් වැල් ගැන නොව ගැහැණියක් වටා ඇති සමාජමය බැඳීම් ගැනය


           


ප්‍රශ්ණ
 (දෙවන කොටස)
01.   ඇතෙකු අඛණ්ඩව පෙරහැරක යයි ද?
02.   පැටවුන් අඛණ්ඩව කිරී බොයිද?
03.   කිරිබොන වයසේ පැටවුන් සිටින සතෙක් මෙවැනි කාර්යයන් වලට යොදවයිද?


පිළිතුරු

මතුපිට පෙනෙන අරුතින් නම් රචකයා අසන්නේ ‘‘ ඔබ මෙසේ පෙරහැරේ යද්දී ඔබේ පැටවුන්ට කිරි දෙන්නේ කෙසේ ද?‘‘ යනුවෙනි.
නමුත් ඉහත සඳහන් ප්‍රශ්ණ කිරීම් වලින්  සියල්ල ප්‍රායෝගික ලෝකයේ ප්‍රතික්ෂේප වේ.
මෙහිදී සමස්තයක් වශයෙන් මාතෘත්වය සංකේතවත් කරන අතර ‘‘එකී මව වෛශ්‍යාවක් ලෙස සමාජයේ ගර්ජනාවන්ට පාත්‍ර වන විට දරුවන් විසින් මවක් ලෙස ඇයට සළකන්නේ කෙසේ ද ? ඇය මවක් ලෙස දරුවන්ට සළකන්නේ කෙසේ ද? යන පැනය මතු වේ. එවැනි දරුවන් මේ තම මවයැයි සමාජයට ඇයව හඳුන්වා දෙන්නේ කෙසේ ද? මෙහිදී රචකයා ව්‍යංගාර්ථ සාධනයට යොමු වී මේ මව විසින් තම දරුවන් මේ සමාජයේ ම කොතැනක හෝ ‘‘ගාල් කර‘‘ දරුවන් ලෙස ඔවුන්ට භුක්ති විඳීමට ඇති නිදහස සීමා කර ඇති බව ද පවසයි.


ප්‍රශ්ණ
 (තෙවන කොටස)
01.   කොයිම අවස්ථාවකදීවත් පෙරහැරේ යන අලි ඇතුන්ට නරඹන්නන් වන්දනාමාන කරනු අප දැක ඇත්ද?
02.   එසේම පෙරහැරක් වට කර ගෙන නරඹන්නන් සිටිද්ද?

පිළිතුරු

බොහෝ විට අප අසා ඇත්තේ ‘‘දළදා කරඬුව වඩම්මවන අවස්තාවේ‘‘ නම් මිනිසුන් නැගිට ආචාර කරන බවයි.  එසේ ආචාර කරන්නේත් දළදා කරඬුවටය. නමුත් මෙම ගීතයට අනුව සළකා බලද්දී ස්ත්‍රී ලිංග සතෙකු පිට කරඬුව වඩමවන්නේ නැත.

එසේම පෙරහැරක් යනු එක දිගට ගමන් ගන්නා සංස්කෘතිකාංගයකි.  එය වටකරගෙන නරඹන්නන් නොරැඳෙන අතර දෙපස සිට එය නරඹයි.


 

ස්ත්‍රියක වේවා පුරුෂයෙකු වේවා වටවී මිනිසෙකු වෙනුවෙන් වන්දනා මාන කරන්නේ ජිවිතයේ එකම එක අවස්ථාවක පමණි. එනම් මරණ මංචකයේ දීය. මෙහි දී රචකයා පවසන්නේ ‘‘ එසේ මිනිසුන් වටකරගෙන නුඹට ආචාර කළේ නුඹ පෙරටුවේ තබා ගනිමින් අලෙවි කළ නුඹේ රූපයට නොව (නෙළුම්මල) , නුඹේ මාතෘත්වයටයි.‘‘ ‘‘නුඹ එසේ කැප කිරීම් කළේ නුඹේ දරුවන් ජීවත් කරවීමේ උතුම් කාර්යය වෙනුවෙන් ‘‘ යනුවෙනි.

 සමස්තයක් ලෙස මෙම ගීතමය අවස්තාව  ‘‘සොඬින් නෙළුම් මලක් ගෙන පෙරහරක යන ඇතෙකු ‘‘ ගැන කියවෙන කතාවක් නොව සමාජයේ පවතින දුක්ඛිත සමාජ තත්ත්වයක්  ඉතා බැරෑරුම්ව කියන ගීතමය අවස්ථාවකි.

ඇතැම් විට මෙම සංකල්ප රූප පෙරහරක සෙයියාවෙන් අසන ශ්‍රාවකයා තුළ මැවෙන්නේ ඒ සඳහා යොදා ගෙන ඇති සංගීතමය වටපිටාව නිසා විය හැකිය. (මෙහිදි මා අදහස් කරන්නේ එහි අනුචිත බවනම් නොවේ) ඇතෙකුගේ ගාම්භිරත්වය  මතු කිරීමට තනු නිර්මාපකයා ‘‘සැක්සපෝනය‘‘ යන අපරදිග සංගීත භාණ්ඩය පෙරදිග හා දේශීය සංගීත භාණ්ඩ සමග අපූරුවට යොදා ගෙන තිබේ .

එමෙන්ම මෙම ගීතයේ දෙවන පෙළ අරුතක් මිට පෙර සමූහයේ ‘‘ඉඳුනිල්‘‘ සොයුරු විසින් ඉදිරිපත් කර තිබෙනු දුටු අතර ඔහුගේ අරුත් ගැන්වීමට මේ තුළින් කිසිදු හානියක් නොවේ යැයි  ද මා විශ්වාස කරමි.

මෙම සමූහයේ උසස් පෙළ සිසුන් හෝ විශ්ව විද්‍යාල ප්‍රථම වසර විද්‍යාර්ථීන් සිටිත් නම් ඔවුන්ට මෙම විචාර ආකෘතිය ප්‍රයෝජනවත් වේ යැයි ද සිතමි. මන්ද යත් සාහිත්‍යයේ එන ‘‘ද්වනිතාරථ සාදනය‘‘(කියන දේ නොව කියැවෙන දේ හඳුනා ගැනීම) යන අභ්‍යාසයට මෙම ගීතය කදිම නිදසුනක් වක නිසාය.