Monday, June 6, 2016

තාත්තා




තම ආදරණීය මව ගේ ළැම ඉමෙන් සහ පියා ගේ උරපත්තෙන් දැනෙන තරම් ලොව්තුරු සුවයක් මිහිපිට උපන් කිසිදු දරුවෙකු මින් පෙරත් පසුත් මේ මිහිමඬලේ නොවිඳ ඇත. ශාරීරික මෙන්ම මානසික පහසින් ද ඔපවත් වූ එය ලොව කිසිදු පහසකට දෙවැනි නොවන්නේය.
 අකාලික වූ මෙම මව්පිය දූදරු සම්බන්ධය තුළ දැනෙන වින්දනාවලිය මුලුමහත් මිනිස් පුරයටම ආලෝකයක් වනවා සේම සිරුරු පුරා දිවයන මේ ජීවමය ගුණය දෙමාපිය ස්නේහයෙන් මෙන්ම දරුවන් ගේ ‘‘උකුළු මුකුළු‘‘ වලින් ද පිරී පවතින්නේ ඒ නිසාවෙන්මය.
මෙකී සංසාරගත වෙළුමේ බලමහිමය නිසා බල සම්පන්නව ආරා මෝරා වැඩුනු මෙම සම්බන්ධය නිසා,
හැදූ වැඩූ දරුවන් දැඩි වෙන තුරු
ඒ දරුවන් වැඩිවිය පත් වෙන තුරු
උන් දීග තල දෙන තුරු
උන්ගෙන් දරු මුණුපුරෝ දකින තුරු
ඒ දරු මුණුපුරන්ගෙන් යලිත් දරුවන් දකින තුරු
තමා වළපස්කන(මැරෙන) තුරු
            සෙවනැල්ලක් වන්නට නොමැරී මැරෙන්නෝය.
එපමණකින් නොනවතින මේ සෙනහස සසර සැරිසරණ තුරු තමන්ගේ ම වේවා!යි හදවතේ ගැඹුරුම තැන සොයා එතැන සිට ප්‍රාර්ථනා කළේද එහි ඇති අරුමය නිසාය.
නමුත් බොහෝ විට දරුවන්ට මෙය දැනෙන්නේ තම දෙමාපියන් වියෝ වූ පසුවය. එවන් අවස්ථාවක තම ළය මඬල පසාරු කරගෙන මතුවුන පිය සෙනහසේ තරම පැරණි ගැමි පුතෙක් ගේ මුවින් එළියට පැන මුඛ පරම්පරාවට උරුම කම් කියා ජන සාහිත්‍යයට එක්වූයේ මෙසේය.


 

  දෙතන ඇතත් නුඹෙ දෑතෙයි  කිරි එරුණේ මට     පෙවෙන්ඩ

දෙවුර ඇතත් නුඹෙ සිරසෙයි  බර දැනුණේ මං       තනන්ඩ

දෙනෙත ඇතත් නුඹෙ පපුවයි   නිදි මැරුවේ මං      රකින්ඩ

මෙපිනම ඇති මයෙ අප්පච්චිට  මතු බුදු බව             ලබන්ඩ



අත්දෙකේ කිරි එරෙන්නේ කෙලෙසකද දෙතනක් තිබියදී ?
බර හිසට පැටවෙන්නේ කෙලෙසද උරහිස් දෙකක් තිබියදී  ?
 පපුවෙන් නිදි මරන්නේ කෙලෙසද දෑසක් තිබිය දී ?
එසේනම් මෙය ආශ්චර්යයක් විය යුතුය. නැතැනම් මෙය හුදෙක් ඇස් බැන්දුමක් විය යුතුය. මෙය මේ එකකුදු වත් නොවේ එයයි හරිහමන් පීතෘත්වයේ සැබෑම බලමහිමය.
මව සිය දරුවන් පෝෂණයට තම ලේ කිරට හරවද්දී පියා ඊට වෙර දැරුවේ දෑතේ වීරියෙනි. වැඩි බරක් ඉසිලිය හැක්කේ උරහිසින් නමුත් පියා ඒ බර ගත්තේ තම හිස මතටයි. ඔහුගේ දැස නොව හදවතයි නිදිමත නිසා වෙහෙසුනේ. මන්ද ඔහු දිවා රෑ දෙකෙහිම දරුවන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක විය.
ඒ නිසා ඉහත කවිය පුතෙකු විසින් සිය පියාණන්ට පූජා කරන  ලද නියත විවරණයක් ම වන්නේ ම ය.
මෙවන් විවරණයක් තම පුතෙකුගෙන් හෝ දුවකගෙන් ලබන්නට පිනක් ඇති පියෙක්ද ඔබ?
තම පියාට උක්ත කවිය කියූ පුතු මෙන් නියත විවරණයක් දීමට තරම් කෘතවේදී පුතෙකු ද ඔබ? දුවෙක් ද ඔබ?
මේ ප්‍රශ්නයට ඔබට හදවතින් ම ඔව්යැයි උදම් අනන්නට ආත්ම ශක්තියක් තිබේදැයි බලනු මැනවි.