Saturday, May 28, 2016

හඬ,රුව සමග‘‘හැඩරුවද‘‘ රැගෙන ප්‍රෙක්ෂකයා අතරට ගිය මුල්ම රූපවාහිනී නිවේදිකාව




 

තම රසිකයන් (ශ්‍රාවකයන් ගේ) බලාපොරොත්තු ඉටු කිරීමට ඇති හෘදයාංගම උද්යෝගය නිසාම කඩිමුඩියේ ගුවන් විදුලියට පැමිණෙන ඇය,කෙතරම් කාර්ය බහුල වුව ද කරන සුපුරුදු සුන්දර කාර්යයක් ඇත.
එනම්,
ගුවන් විදුලි සංස්ථාව ඉදිරියේ ඇති පිච්ච පඳුරෙන් පිච්ච මලක් කඩා ගෙන බෙල්ලට බැඳපු කොණ්ඩ ගුලියෙ පැත්තකින් ගසාගැනීමයි. මෙය ඇගේ සුන්දර පුරුද්දක්.
ඇය නමින්
‘‘ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නිවේදිකා, සුමණා නෙල්ලම්පිටිය‘‘




‘‘මැදිරි නිවේදිකාවක්, වෙළඳ වැඩසටහන් නිවේදිකාවක්,මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාවක්‘‘ යන භූමිකා ත්‍රිත්වයම ගුවන් විදුලිය තුළ නිරූපනය කළ ඇය සුවිශේෂීවන්නේ,
‘‘ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව‘‘ යන වරම ඇයට හිමි වීම නිසාය.
ඇයගේ මතකය එක්තරා රූපවාහිනී සම්මුඛ සාකජ්චාවක දී අවදි කළේ මෙසේය.
අපේ රටේ මුලින් ම රූපවාහිනි සේවයක් ආරම්භ කළේ ‘‘ශාන් වික්‍රමසිංහ‘‘ මහතා. එය ‘‘ටී.එන්.එල් ‘‘නමින් තිබුණේ.
නමුත් 1980 එය රජයට පවරා ගනු ලැබුවා. රජයට පවරාගත් රූපවාහිනි සේවය ‘‘ස්වාධීන රූපවාහිනිය‘‘ ලෙසයි ජනතාව අතරට ආවේ.
මේ සේවාව මුලින් ම පටන්ගත්තේ ප්‍රවෘත්ති කියන්න. ගුවන් විදුලිය ඇතුළෙම මැදිරියක් හදාගෙන තමයි බොහොම අපහසුතා මාධ්‍යයේ ප්‍රවෘත්ති කිව්වේ. සැටලයිට් කුලුන තිබුණේ පන්නිපිටියේ, මුල කොටස පටිගත කරලා පටිය පන්නිපිටියට යවනවා.
ඒ ටික ඉවර වෙන්න කලින් ප්‍රවෘත්තිවල ඉතිරි කොටස පටිගත කර යවනවා. මේ සේවය ආරම්භයේ දීම මටත් ආරාධනයක් ලැබුණා. මම ගියා. මුලින් ම ගුවන් විදුලියේ සිටින ගමන් ම තමයි රූපවාහිනි සේවයේ කටයුතු කළේ. පසුව මම ගුවන් විදුලියෙන් ඉවත් වී පූර්ණකාලීනවම රූපවාහිනි සේවයේ කටයුතු කරන්න ගත්තා. ප්‍රථම රූපවාහිනි නිවේදකයා තමයි ‘‘ඩී.එස්. දයාරත්න.‘‘
තව දුරටත් අදහස් දැක්වූ ඇය එහිදී ඇයට දැණුන වෙනස පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේය.
‘‘අපි ගුවන් විදුලියේ කතා කළේ මයික්‍රෆෝනයක් ඉදිරිපිට. ඒත් රූපවාහිනියේ අපට කටයුතු කරන්න වුණේ කැමරාවක් ඉදිරිපිට. මේක ලොකු වෙනසක්. පහුවෙනකොට හුරු වුණා. මම රූපවාහිනියේ පිරිත් පමණයි ඉදිරිපත් නොකළේ. අනෙක් හැම වැඩසටහනක් ම වගේ ඉදිරිපත් කර තිබෙනවා.‘‘
එසේම ඇය නිතර පවසන රසකතා කහිපයක් අතර විශේෂ එකක් ලෙස සජීවී රූපවාහිනී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමකදී සිදු වූ සිදුවීමක් මෙසේය
‘‘ඔන්න දවසක් රූපවාහිනියේ සජීවි ප්‍රවෘත්ති කියන වෙලාවෙදි (ඒ කාලෙ AC නැහැනේ) මැස්සෙක් ඇවිත් මුහුණේ එහාට මෙහාට වහන්න පටන් ගත්තා.
මේ වගේ වෙලාවක මැස්සෙක් වහන කොට හිතන්න මම කොහොමද මැස්සා එලවන්නේ කියලා.
දැන් මේක කාටවත් කියන්නත් බෑ. මැස්සා එලවන්නත් බෑ. ඔය අතරතුර පොඩි ඉඩක් එද්දී මම ටක් ගාලා මැස්සා එලවනවා. ආයෙත් පටන් ගත්ත ගමන් මැස්සා ආපහු මුහුණේ වහනවා. පැය භාගයක් තිස්සෙම මැස්සව එලව ගන්න බැරුව වින්ද වදයක්.‘‘

 
මේ තවත් සිදුවීමක්

1983 කලබල කාලේදී ඇඳිරිනීතියත් දාපු එක්තරාදවසක ‘‘ගාමිණී දිසානායක මහතායි, ආනන්ද තිස්ස ද අල්විස් මහතායි‘‘ මැදිරියට ආවා රටට කලබල වෙන්න එපා කියලා රූපවාහිනියෙන් ජනතාව දැණුවත් කිරීමේ වැඩසටහනක් එවෙලෙම විකාශය කරන්න ඕනෙ කියාගෙන. රූපවාහිනී වැඩසටහනක් කරද්දි මේකප් දාල එහෙමනෙ කියන්නෙ. ඉතින් ඒ වෙලාවේ වේශ නිරූපන ශිල්පීන් තියා  කවුරුවත්ම හිටියෙ  නෑ.
හිටියෙ ඒ කාලෙ සභාපති‘‘ එම්. ජේ. පෙරේර‘‘ මහත්තය විතරයි.
‘‘ සුමනා දැන් කරන්න දෙයක් නෑ. ඔයාම දන්න විදියට  මේක් අප් එක කර ගන්න‘‘
 කියලා මට කිව්වා.


 මේක් අප් එකත් කරගෙන, ඔකකෝමත් කරගෙන  ඉවර වෙලා ඒ අයව ඉන්ටවීව් කරන්න වුණෙත් මට.
එදා මම කරපු යුද්දෙ බලාගෙන ඉඳල ගාමිණී දිසානායක ඇමති තුමා මට ලයුමකුත් එක්ක රසකැවිළි පාර්සලයක් එවල තිබුනා
‘‘අතිශය කාර්ය බහුල වෙලාවක අපගේ කටයුතුවලට සම්බන්ධ වූ සම්භාවනීය නිවේදිකාවෙනි ඔබට සුළු ත්‍යාගයක්‘‘ කියලා. ඒ ලියුම තවමත් මගේ ළඟ තියෙනවා.
‘‘ඒ කාලෙ සමහර දේවල් වාර්තා කරන්න අපිට රට පුරාම යන්න වුනා. එහෙම යද්දි අපේ වාහන වලට ගල් ගහල නොයෙක් වද වේදනා විඳින්නත් සිද්ද වුනා. ඒවා අද තව වෙනකල් අපේ ගෙදර අයවත් දන්නෙ නෑ‘‘
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අසලම ‘‘255 බී 12, ටොරිංටන් මාවත, කොළඹ 07 ‘‘ යන ලිපිනයේ දැනටක් පදිංචි වී සිටින ආදරණිය ‘‘සුමණා නෙල්ලම්පිටිය‘‘ මේ සියලු අත්දැකීම් රසමුසුව සහිපත් කරමින් ඉතා සරළ දිවියක් ගත කරන අතර විශ්‍රාම ගිය පසුව ද ඇය ගේ ගෞරවණීය සේවය දැණුදු  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ලබා දෙන්නීය.