Wednesday, May 25, 2016

නිදහස වෙනුවෙන් සටන් කොට - නිදහස විඳිමට වරම් නොලද - භාරතීය සාහිත්‍යයේ වීරවරිය,සුබද්‍රා කුමාරි චෞහාන්




වීර සෙබළියක මෙන් යුද අවියක් අතට නොගත්ත ද, ලේඛන හැකියාව අවිය කොට ගෙන, එමඟින් පරගැති ජනතාව දරන අදහස් ඉතා සියුම් ලෙස වෙනස් කිරීමටත්, රටේ නිදහස වෙනුවෙන් සටන් කරන ජනතාවගේ උදාරතර සිතුවිලි ශක්තිමත් කිරීමටත් හැකි වන කාන්තාවන් සිටින්නේ ලොව අල්ප තරමින්ය
ඇයගේ කාව්‍ය නිර්මාණවල අන්තර්ගත වීර රසයෙන් කුල්මත් වූ සහ දිරිමත් වූ ජන නායකයින්, දේශපාලන කටයුතුවල නියැළුණේ ජාතිමාමක හැඟීමෙන් යුතුව මිසක පටු පරමාර්ථ උදෙසා නොවෙයි.
හින්දි සාහිත්‍යයේ නූතන යුගයේ’ (19 වන සියවසේ අග භාගයෙන් ආරම්භ වන යුගය) ජනප්‍රිය මෙන් ම ගෞරවයට පාත්‍ර වූ ‘‘‘‘‘‘සුභද්‍රා කුමාරි චෞහාන්‘‘‘‘‘ නම් මේ කිවිඳිය විසින් රචනා කරන ලද කාව්‍යයන්,
ස්වතන්ත්‍රතා සංග්‍රාමයේ ඇලී-ගැලී සිටි භාරතීයන්ගේ මුවගට ගීතයක් විය.
එම කාව්‍යයන්හි ඇති අභිමානවත් හැඟීම ඔවුන්ගේ ලේ නහර පිනවී ය.
ගමක් ගමක්, නගරයක් නගරයක් පාසා එහි නාදය රැව් දුන්නේය.
තත්කාලීන සාමාජික සහ දේශපාලනික පසුබිම්, රටේ ඉතිහාසය සමඟ මුසු කරමින් ඇය ප්‍රබන්ධ කළ කාව්‍යවලින් ජනතාවගේ සිත්වල ප්‍රකෝපකාරී හැඟීම් උද්දීපනය නොවී ය.
එහෙත් මාතෘ භූමිය පිළිබඳ අභිමානනීය හැඟීම් උද්දීපනය වීමෙන් පරාධීනත්වයෙන් දේශය නිදහස් කර ගැනීමේ පෙරැළියකට ඔවුන්ගේ සිත් පෙලඹුණු බව සත්‍යයකි.
ඇය පබැඳූ දේශ ශක්ති කාව්‍යවල ඇති ‘‘නැවුම් බව, සරල බව සහ ප්‍රාණවත් බව ‘‘සිසිල් සුළඟක් මෙන් දේශය පුරා හමා ගියේ ය. ජනතාවගේ සිත්වල ඇති වූයේ තම ජීවිතය වුව ද පරිත්‍යාග කොට පරතන්ත්‍ර භාවයෙන් මව් බිම නිදහස් කර ගැනීමේ උදාරතර හැඟීම යි.



 


මේ අග්‍රගණ්‍ය කිවිඳිය විසින් රචනා කළ බොහෝ කාව්‍ය නිර්මාණ මඟින් පිළිබිඹු වන්නේ බ්‍රිතාන්‍යයන්ගේ කුරිරු පාලනයේ ස්වභාවය යි. බ්‍රිතාන්‍යයන් විසින් භාරතීය ජනතාව වහල් කොට ගෙන, ඔවුන්ගේ ශ්‍රමය සූරා කන ආකාරය මෙන් ම ඔවුන්ගේ ජන ජීවිතයට එල්ල වන හිරිහැර ආදී කරුණු, කාව්‍ය අනුභූතීන් ලෙස යොදාගෙන ඇත.
යටත් විජිත පාලන ක්‍රමය නිසා ජනතාවට අත්වන ඉරණම පිළිබිඹු වන මෙම කාව්‍යයන්හි පද භාරතීයන්ගේ මුවගට නැගෙන්නේ නිරායාසයෙනි. එම කාව්‍ය සංදර්භයන් සඳහා ඈ ප්‍රාණවත් භාෂාවක් භාවිත කළාය. පරාධීනත්වයට යටපත් ව, දුබල ව පීඩිත ව සිටි ජනතාව දෙපයින් නගාසිටුවීමට තරම් එම භාෂාව ප්‍රබල විය. එහි ඇති සජීවී බව වර්තමානයේ වුව ද නොවෙනස් ව පවතී.
ඇගේ සාහිත්‍ය නිර්මාණ අතර ‘‘‘‘ඣාසී කී රානී’‘‘‘ (ඣා සී හි රැජින) නම් කාව්‍ය පංතිය ජනතාව අතර ඉතා ප්‍රසිද්ධියට පත් වූ කාව්‍ය නිර්මාණයකි. භාව රසයෙන් පරිපූර්ණ මෙම කාව්‍ය පංතියෙන් නිරූපණය වන්නේ ඣා සී ප්‍රදේශයේ රැජිනක වූ ‘‘ලක්ෂ්මීබායි‘‘ ගේ වීර චරිතයයි. වීර කාන්තාවක ලෙස ඇය බ්‍රිතාන්‍ය හමුදාව සමඟ යුද වැදුණු ආකාරය, ඇගේ රණ ශූරත්වය, ධෛර්යය සහ ජීවිතය පරිත්‍යාග කළ ආකාරය පිළිබඳ වර්ණකය වන මෙම කාව්‍යය, දේශප්‍රේමී භාරතීයයන්ගේ සිත්වල ස්වාධීන චින්තනය ඇති කිරීමටත්, උද්වේගකාරී හැඟීම් ඇති කිරීමටත් සමත් විය.
ප්‍රකට කවියෙකු වූ ‘‘ගජානන් මාධව් මුක්තිබෝධ්‘‘ ඇගේ සාහිත්‍ය සේවය පිළිබඳ වර්ණනා කර ඇත්තේ මේ ආකාරයට ය.


 


”‘‘‘‘කාව්‍ය සාහිත්‍යයේ නව ප්‍රවණතාවන්, සංකල්පනාවන් කැටි කොට ගත්, සුභද්‍රා කුමාරී නම් කිවිඳියගේ කාව්‍ය නිර්මාණ, හින්දි සාහිත්‍යයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරයි. ඇගේ බොහෝ කාව්‍යවලින් රන් කිරණ ධාරාවක් මෙන් දිස්වන්නේ නිදහස් අරගලයට පණ පෙවූවන්ගේ ආත්ම විශ්වාසය, යෞවනත්වය සහ කැපවීම යි.‘‘‘‘‘
තත්කාලීන දේශපාලන, සාමාජික, සංස්කෘතික සහ ආගමික පසුබිම පිළිබඳ මනා අවබෝධයකින් රචනා කළ එම කාව්‍යවල මූලික විෂය වූයේ දේශ භක්තිය යි. ඇය සාහිත්‍යය මාධ්‍ය කොට ගෙන, දේශයට කළ සේවය අතිමහත් ය. පරගැති බව දේශයෙන් තුරන් කිරීම සඳහා ලේඛන හැකියාවෙන් දැක්වූ දායකත්වය අනන්ත ය. ඇයගේ කාව්‍යවල භාෂාව තියුණු ය. මුවහත් ය. එය මිනිසුන් තුළ රණකාමිත්වය සහ දේශ මමත්වය ජනිත කරවීමට සමත් වුව ද කාව්‍යාත්මක ය. රසවත් ය. කාව්‍ය සංකල්පනාවට කැටි කළ සෑම වචනයකම අරුත ඇය ක්‍රියාවට නැංවූයේ සියලු ම භාරතීය කාන්තාවන් නියෝජනය වන පරිදි ය.
කිවිඳියක් පමණක් නොවූ ඈ, කෙටිකතා නිර්මාණයට ද නැඹුරු වූවා ය. එමඟින් පවතින වාතාවරණයෙහි යථාර්ථ ස්වරූපය ජනතාවට අවබෝධ කිරීමට උත්සහ කළා ය. තම අත්දැකීම් විෂය කොට ගත් සාහිත්‍ය නිර්මාණයන්ගෙන් ඇය සෙවූයේ දේශයේ විමුක්තිය යි.



 

තම ලේඛන හැකියාවෙන් භාරතීය ස්වතන්ත්‍රතා ආන්දෝලනයයේ සක්‍රියතාව දෙගුණ තෙගුණ කළ ඈ, මහජනතාව නියෝජනය කරමින් කටයුතු කිරීමට දේශපාලනයට ද පිවිසියා ය. ඒ අනුව 1923 දී, ‘‘කොංග්‍රස් පක්ෂයේ ‘‘ සාමාජිකාවක ලෙස ‘‘‘ජබල්පූර් නගර සභාවට‘‘‘ තේරී පත් වූ ඇයගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීම යි. එහි දී සත්‍ය දේශපාලන න්‍යායන් අනුගමනය කිරීමට හැම විට ම ඈ උත්සාහ දැරුවා ය. එහෙත් බ්‍රිතාන්‍යයන්ගේ පාලන ක්‍රමයේ දැඩි නීති රීතිවලට විරුද්ධව ක්‍රියා කිරීම නිසා 1923 දී සහ 1942 දී ඇයට සිරගත වීමට ද සිදු විය.
කෙසේ නමුත් සුභද්‍රා කුමාරී චෝහාන්යනු භාරතයේ නිදහස වෙනුවෙන් හඬ නගමින් දේශයේ උන්නතිය වෙනුවෙන් කාන්තාවට කළ හැකි කාර්යය සුළුපටු නොවන බව ඔප්පු කළ වීර කාන්තාවකි. භාරතීය ස්වතන්ත්‍රතා ආන්දෝලනයේ ක්‍රමවත් ගමනට ශක්තියක් වූ ඇගේ සාහිත්‍ය නිර්මාණ, අතීතය තුළ වැළලී සැඟව නොගියේ ය. එම නිර්මාණ වර්තමානයේත් අනාගතයේත් එක සේ රස විඳිය හැකි නිර්මාණ බවට පත්විය. නිදහස භුක්ති විඳින භාරතීයයන්ගේ හදවත්වල ඇගේ නාමය අමරණීයත්වයට පත් වූවා සේ ම නිදහස් සටන තුළ ඈ කළ භූ®මිකාව ද භාරතීය ඉතිහාස කතාවෙන් නොමැකෙන්නේ ය.
වර්ෂ 1904 පෙබරවාරි 15 වන දින භාරතයේ පිනට පහළ වූ මේ කාන්තාවට, අවසාන මොහොත වෙනුවෙන් ලබා ගන්නට තමා සටන් කළ නිදහස නිදහසේ භුක්ති විඳිමට ඉඩ අවකාශ නොලැබීම අවාසනාවට කරුණකි.
ඒ මන්ද යත් 1948 දී හදිසි අනතුරකින් ඇය මිය යාමයි.

No comments:

Post a Comment