Thursday, June 9, 2016

වේදනාවෙන් රස ගෙනා සොඳුරු ගී හිමිකරු





‘‘‘‘අද කාලෙ වගේ නෙමෙයි ඒ කාලෙ. ඒ කාලේ ජංගම දුරකථන තිබුණේ නැහැනේ. කෙල්ලෙක්ට ලියුමක් ලිව්වම ඒක ඇය අතට පත්කරන්න පුදුම සටනක් කළේ. සමහර වෙලාවට තරුණිය අතට ලියුම දෙනකොට ඒක අතටම දියවෙලා ගිහිල්ලා. අපි තරුණ කාලේ ආදරේ කළේ බොහෝම හැඟීම්බරව. ඒ වගේම ලැජ්ජාශීලියි. කාටවත් නොපෙනෙන්න ලියුම දෙන්නත් ඕන. ‘‘‘



 


ඒ සුන්දර කාලෙ ගැන සෝමපාල ලීලානන්දයන් මෙනෙහි කරන්නෙ හරි අපූරු සැහැල්ලුවකිනි.
ඔහු තනුවක් අසා එයට ගීත රචනා කරන්නට උපන් හපනෙකි. මෙම හැකියාව ඇති ගීත රචකයන් අප කලා ක්ෂේත්‍රෙය් ඉන්නේ අතලොස්සකි.
බොහෝ ප්‍රේමවන්තයින් මෙන් සෝමපාල ලීලානන්දයන් ද පරාජිත ආදරයක අරුමක්කරුවෙකි. ආදරය නොලැබුණා, ආදරයෙන් පරාජිත වුණාය කියා ඔහු  කෙදිනකවත් ඇයට වෛර කළේ නැත.
තැළී තුවාල වුනු හිත හදාගත්තේ විරහව ගැන ගීතයක් කවියක් ලියා එය  ඇයටම බලන්න දීමෙනි. එනිසාම ඔහු පවසන්නේ ඔහු එදත් අදත් ආදරය දකින්නේ බොහෝම ගෞරවනීය දෙයක් සහ උතුම් දෙයක් ලෙසිනි.ඒ නිසාම එකී උත්තරීතර  ආදරයට කැළල් ඇති කිරීමට ඔහු අකමැති විය.
 ඔහු ඇයට පෙම් කළේය. එහෙත් ඒ ආදරය පසෙක තිබියදි ඔහුට ඇයගෙන් වෙන්වන්නට සිදුවූයේය. ඔහු ආදරයෙන් පරාජිත වූයේය. හිත රිදුනේය, බිඳුණේය. ඔහු මානසිකව ඇද වැටිණි.
ලෝකයම එපා වී ප්‍රේමය වෙනුවෙන් තැවෙමින්, දැවෙමින් සිටි අවදියක ඔහුට ඇය හමුවිය. ඇය ඔහුගේ ලෝකයට ආලෝකයක් වූයේය. අද ද ඔහුගේ වටා සෙවණැල්ල වී සිටින්නි ඇය ය. ඇගේ ආදරය වෙනුවෙන් ඔහු මෙසේ ලීවේය.
‘‘සැරයටියෙන් අපි යනෙනතුරා
සංසාරෙත් අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු‘‘

ඔහුගේම වචන වලින් පවසන ආකාරයට මෙම ගීත රචනාව තුළ ඇයගේ ආදරණීය බිරින්දෑට අමතරව තවත් අතුරු චරිත දෙකක් ඇත.
‘‘‘‘ඒ කාලේ පොල් කඩන්න එනවා ජෝඩුවක්. පිරිමියාගේ ඇස් පේන්නේ නැහැ. කාන්තාව සමඟ හැරමිටියක් අරගෙන එන්නේ. ඔහුගේ බිරිඳ තමයි ඔහුව පොල් ගස ගාවට ගෙනියන්නේ. මේ සිදුවීම් මගේ හිතේ රැඳිලි තිබුණා. මේ ගීතය ලියැවී තියෙන්නේ ස්ත්‍රි ආධිපත්‍යයට මුල්තැන දීලා‘‘‘‘
 ගීතයේ වචනාර්ථයට විජය කුමාරණතුංගයන්ගේ සහ චන්ද්‍රෙල්ඛා පෙරේරා ගේ ද්විත්ව හඬ මාධූර්යය අපූරුවට ගැළපී තිබේ.
සෝමපාල ලීලානන්දයන් බොහෝ ගීත රචනා කළේ  චිත්‍රපටවලටය. එම සියලු ගීත  ප්‍රේමය පදනම් කර ගත් ඒවා විය.
මෙම සෑම ගීතයකටම වස්තු විෂය  වූයේ   ජීවිතයේ යන එන ගමන්වලදි ලැබූ අත්දැකීම්ය.
එතුමන්  ලියූ පාට පොදක්ගයනු ලැබුවේ එච්.ආර්. ජෝතිපාලයන් හා ඇන්ජලින් ගුණතිලකය. මෙය සකල කාලයටම පොදු පාට පොදක්මය.
පාට පොදක් තිලක ලා
නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැළවී නැළවී ඒ
නිවන් මහද නීල වරලියේ
 කස්තුරි සුවඳචිත්‍රපටයටමෙම ගීතය රචනා කර ඇති අතර  එහි  කාන්තා චරිතය රඟපෑවේ මාලිනි ෆොන්සේකාය. ඇයට තරුණයන් තුන් දෙනෙක් පෙම් කරයි. තරුණයාගේ චරිතය රඟපෑවේ ගාමිණි ෆොන්සේකාය.
ඔහු ආදරයෙන් පරාජිත වී නැවත තම ගමට යයි. මේ සිදුවීම තවත් තීව්‍ර කිරීමේ අවශතාව නිසා ඉහත ගීතය රචනාව ලබා දුන් බව ඔහු පවසයි.
තම මුල්ම ආදරයේ විරහව ඉවසිලවන්තව දරා ගැනීමට හුරු පුරුදු වූ ඔහු එකී ආදරය ගැන මෙසේ ලීවා පමණක් නොව, ඔහු ගේ සිත තුළ හැමවිටම තිබුණු ‘‘ ආදරය පූජනීයයි‘‘ යන හැඟීම නිසාම ඔහු ලියූ සෑම චිත්‍රපට ප්‍රේම ගීතයකටම මේ අදහස කැටි වූයේය.

‘‘‘‘පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ
මල් නුවරේ පෙම් සුවඳේ‘‘‘‘
තරුණයන් කිහිප දෙනෙක් එකම තරුණියකට පෙම් බඳින්නේ කෙසේ හෝ ඇයව ලබා ගැනීමේ අරමුණ සැමෙකා ගේම සිතෙහි එකසේ තබා ගනිමිනි.
එකී ආත්මාර්ථය සුන්දරව තෙළිතුඩට  ඔහු මුසු කරන්නේ මෙසේය.
කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා
පායනා තරුවේ...
ඔවුන් පතන්නේ ඇයගේ ආදරයයි. කවදා හෝ ඒ ආදරය හිමිවේවා යන්න ඔවුන්ගේ පැතුමයි.

‘‘‘සෙනෙහෙතාවේ මාලිගාවේ - මුතු සිනා රාවේ
සොයා සිහිනෙන් පා වෙලා යමු -  ඈත කඳු යායේ
හිමිවේවා- කවදා හෝ - මුතු සිනා රාවේ‘‘‘‘

යනුවෙන් ‘‘ඈතින් ඈතට‘‘ චිත්‍රපටය සඳහා ඔහු ලියූ ගීතය සංගීතවත් කළේ සරත් දසනායකයන්ය. එය ගයන්නේ මිල්ටන් මල්ලවආරච්චි. ග්‍රේෂන් ආනන්ද හා පි‍්‍රයා සූරියසේනය.
කෙනෙක්  දුටු විට, කතා කළ විට, දැණෙන  හුරුකම දැනෙන්නේ සංසාර පුරුද්දටය. එකී සංසාර පුරුද්ද ගැන ඉතා සරළව ප්‍රේමණීයව විටෙක ඔහු මෙසේ මෙසේ ලීවේය.
‘‘‘‘‘‘‘සිටු මැදුරේ හෝ - පුංචි පැලේ හෝ -
ඈත භවේ හෝ - මා ඔබ හමුවී තිබුණා
හමුවී.... දෙඩුවා... හිනැහී..... හැඬුවා‘‘‘‘
තරුණියක ගේ පුණරුත්පත්තියක් පාදක කර ගනිමින් නිර්මාණය වූ ‘‘‘නිල්ල සොයා‘‘‘ චිත්‍රපටය සඳහා ලියන ලද ගීතය ගැයුවේ ඇන්ජලින් ගුණතිලකය. සංගීතය සරත් දසනායකගෙනි.

පෙම්වතියන්ගේ කඳුළෙන් පිරී ඇති මහා සාගරය ද, එකී ඔවුන් ගේ සුසුමින් එකී සාගරයේ රළ නැගෙන, බිඳෙන, පෙරළෙන අපූරුවද මුසුකොට පරාජිත ප්‍රේමය හැමවිටම ගෙන එන්නේ දුකක් බවත්  එදා මෙදා තුර බිඳීගිය ප්‍රේමය වෙනුවෙන් හඬා වැළපෙන්නෝ බොහෝ බවත් පසක් කරමින් ඔවූ ලීවේ......
‘‘‘පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
 මහා සාගරේ

කඳුලෙනි ජල කඳ සැදුනේ - සුසුමෙනි රළ නැගුණේ

කුණාටු මුහුදේ- අඩ සඳ පිපුණේ  

වේදනා ගෙනේ‘‘‘

යනුවෙනි. ‘‘කස්තුරි සුවඳ‘‘ චිත්‍රපටය සඳහා ලියූ ගීතය සංගීතවත් කළේ සරත් දසනායක විසින් වන අතර ගැයුවේ ඇන්ජලින් ගුණතිලකය.
මේ ලියූ වැඩිමනක් ගීත චිත්‍රපට ජවනිකා සමඟ සහ සම්බන්ද වුවද  තම ජීවිතයේ විවිධ විවිධ කාල පරිච්ජේද වල  ඇසුරු කරන අයගෙන් ලැබූ අත්දැකීම් වල හිමි කරුවන් එම ගීත ජීවමාන කර ඇති බව ඔහු ගේ විශ්වාසයයි.
මෙවැනි පද රචකයින් සිටිනවාද යන්න වර්තමාන පරපුර නොදන්නවා විය හැකිය. ඔවුන් ගේ මුවින් නිතර මිමිණෙන මෙවන් ගීත පිටුපස සිටින මෙවැනි උදාර නිහතමානී හැඟුම් බර මිනිසුන් ඇතැම් විට ඔවුන් යන මඟක මුහුණට හමුවනවා ද ඇත.
තමා විඳි වේදනාවන් ඉවසිලිවන්තව යටපත් කර ගෙන එකීවේදනාව රසයක් කොට කළතා පත අට එකට සිඳ එහි තිත්ත රස නොදැනෙන සේ අමෘතයක් කොට රසික මන පිණවන මෙවන් සරළ මිනිසුන්  ගැන කතා බහ යළි මතු කරන්නට ගත් ඉතා සුලු වෑයමකි මෙය.

Tuesday, June 7, 2016

ලියන්නාගේ නලියන හිත




 වටපිටාවේ හුදකලාව විසින්
ම‘සිත පූර්ණ නිහඬතාවකට
පත් කළ ඇසිල්ලෙහි
මම....
පෑන අතට ගතිමි....

තනිව සිටියද
මා වටා සිය දහස් ගනන්
මිනිසුන් සිටිනවා සේ
මා මනැස් ඇසට දැනේ....

මා සිටින උඩු මහලෙහි
ද්වාරය හැර
එකී සියලු මිනිසුන්,
හඬවමින්..
සිනා ගන්වමින්..
කෝප කරමින්..
ප්‍රීති ඝෝෂා නංවමින්..
හැගුම්බර කරමින්..

බොහෝ ඈතකට
රැගෙන යන්නට
මට සිතේ......


මා මගේ ‘‘පරිකල්පණයට‘‘
වහා අණ කළෙමි...

එහෙත් මා කුමක් ලියන්නද?
ලියන්නට බොහෝ දේ ඇතත්
ඉන් ‘‘එකක්‘‘ තෝරා ගැනීම
ඉතා අසීරුය........

එක වැදගත් දෙයක්
තේරුම් බේරුම් කර ගත් ඇසිල්ලේ
ඒ වටා
අනේක සිතුවිලි
රොද බැඳ ගනී.....

හරියටම හරි.....
මෙයයි මා
ලිවීම ඇරඹිය යුතු
නිවැරදිම මොහොත......


Monday, June 6, 2016

තාත්තා




තම ආදරණීය මව ගේ ළැම ඉමෙන් සහ පියා ගේ උරපත්තෙන් දැනෙන තරම් ලොව්තුරු සුවයක් මිහිපිට උපන් කිසිදු දරුවෙකු මින් පෙරත් පසුත් මේ මිහිමඬලේ නොවිඳ ඇත. ශාරීරික මෙන්ම මානසික පහසින් ද ඔපවත් වූ එය ලොව කිසිදු පහසකට දෙවැනි නොවන්නේය.
 අකාලික වූ මෙම මව්පිය දූදරු සම්බන්ධය තුළ දැනෙන වින්දනාවලිය මුලුමහත් මිනිස් පුරයටම ආලෝකයක් වනවා සේම සිරුරු පුරා දිවයන මේ ජීවමය ගුණය දෙමාපිය ස්නේහයෙන් මෙන්ම දරුවන් ගේ ‘‘උකුළු මුකුළු‘‘ වලින් ද පිරී පවතින්නේ ඒ නිසාවෙන්මය.
මෙකී සංසාරගත වෙළුමේ බලමහිමය නිසා බල සම්පන්නව ආරා මෝරා වැඩුනු මෙම සම්බන්ධය නිසා,
හැදූ වැඩූ දරුවන් දැඩි වෙන තුරු
ඒ දරුවන් වැඩිවිය පත් වෙන තුරු
උන් දීග තල දෙන තුරු
උන්ගෙන් දරු මුණුපුරෝ දකින තුරු
ඒ දරු මුණුපුරන්ගෙන් යලිත් දරුවන් දකින තුරු
තමා වළපස්කන(මැරෙන) තුරු
            සෙවනැල්ලක් වන්නට නොමැරී මැරෙන්නෝය.
එපමණකින් නොනවතින මේ සෙනහස සසර සැරිසරණ තුරු තමන්ගේ ම වේවා!යි හදවතේ ගැඹුරුම තැන සොයා එතැන සිට ප්‍රාර්ථනා කළේද එහි ඇති අරුමය නිසාය.
නමුත් බොහෝ විට දරුවන්ට මෙය දැනෙන්නේ තම දෙමාපියන් වියෝ වූ පසුවය. එවන් අවස්ථාවක තම ළය මඬල පසාරු කරගෙන මතුවුන පිය සෙනහසේ තරම පැරණි ගැමි පුතෙක් ගේ මුවින් එළියට පැන මුඛ පරම්පරාවට උරුම කම් කියා ජන සාහිත්‍යයට එක්වූයේ මෙසේය.


 

  දෙතන ඇතත් නුඹෙ දෑතෙයි  කිරි එරුණේ මට     පෙවෙන්ඩ

දෙවුර ඇතත් නුඹෙ සිරසෙයි  බර දැනුණේ මං       තනන්ඩ

දෙනෙත ඇතත් නුඹෙ පපුවයි   නිදි මැරුවේ මං      රකින්ඩ

මෙපිනම ඇති මයෙ අප්පච්චිට  මතු බුදු බව             ලබන්ඩ



අත්දෙකේ කිරි එරෙන්නේ කෙලෙසකද දෙතනක් තිබියදී ?
බර හිසට පැටවෙන්නේ කෙලෙසද උරහිස් දෙකක් තිබියදී  ?
 පපුවෙන් නිදි මරන්නේ කෙලෙසද දෑසක් තිබිය දී ?
එසේනම් මෙය ආශ්චර්යයක් විය යුතුය. නැතැනම් මෙය හුදෙක් ඇස් බැන්දුමක් විය යුතුය. මෙය මේ එකකුදු වත් නොවේ එයයි හරිහමන් පීතෘත්වයේ සැබෑම බලමහිමය.
මව සිය දරුවන් පෝෂණයට තම ලේ කිරට හරවද්දී පියා ඊට වෙර දැරුවේ දෑතේ වීරියෙනි. වැඩි බරක් ඉසිලිය හැක්කේ උරහිසින් නමුත් පියා ඒ බර ගත්තේ තම හිස මතටයි. ඔහුගේ දැස නොව හදවතයි නිදිමත නිසා වෙහෙසුනේ. මන්ද ඔහු දිවා රෑ දෙකෙහිම දරුවන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක විය.
ඒ නිසා ඉහත කවිය පුතෙකු විසින් සිය පියාණන්ට පූජා කරන  ලද නියත විවරණයක් ම වන්නේ ම ය.
මෙවන් විවරණයක් තම පුතෙකුගෙන් හෝ දුවකගෙන් ලබන්නට පිනක් ඇති පියෙක්ද ඔබ?
තම පියාට උක්ත කවිය කියූ පුතු මෙන් නියත විවරණයක් දීමට තරම් කෘතවේදී පුතෙකු ද ඔබ? දුවෙක් ද ඔබ?
මේ ප්‍රශ්නයට ඔබට හදවතින් ම ඔව්යැයි උදම් අනන්නට ආත්ම ශක්තියක් තිබේදැයි බලනු මැනවි.