Wednesday, May 25, 2016

ගීතමය වදන් තුලින්ම ප්‍රශ්ණ කරමින් ධ්වනිතාර්ථ ඉස්මතු කිරීමේ කලාව


                                          





යෝජිත ගීතය:-

හොඬින් නෙළුම් මල ගෙනයන - බතික් රන් පටින් දිදුළන
ඇතින්නියේ.............
යදම් අමතකද පා බැඳි විලංගුවේ

පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොම්දැයි
ඇතින්නියේ දරු සෙනහස ගාල් කළේ මන්දැයි
ඇතින්නියේ.............
ඇතින්නියේ දරු සෙනහස ගාල් කළේ මන්දැයි

වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දැයි
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ.............
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි

ගායනය :- අතුල අධිකාරී
තනුව:- රෝහණ වීරසිංහ
පද :- රත්න ශ්‍රී විජේසිංහ


 
  


 මෙම ගීතය අසන ශ්‍රාවකයාගේ සිතෙහි එක වරම පරිකල්පනය වන්නේ
‘‘සොඬින් නෙළුම් මලක් ගෙන පෙරහරක යන ඇතෙකි‘‘

ගීතමය වදන් වලින් ප්‍රශ්ණ කිරීම හා ඊට පිළිතුරු ගීතය තුළින්ම  ගොඩනගා ගැනීම

(පළමු කොටස)

01.   මෙහිදී ‘‘ඇතින්නියේ ‘‘ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ ඇයි?
02.   අප දන්නා තරමින් පෙරහැර සඳහා ඇතින්නියන් සහභාගී වේද?
03.   ඇතින්නියන් කෙදිනකවත් බතික් රන් පතින් සැරසී සිටිනු අප දැක තිබේද?
04.   අප දකින බොහෝ පෙරහැර වල ඇතින්නන් තබා ඇතෙක්වත් නෙළුම් මල් රැගෙන යයි ද?

පිළිතුරු

බොහෝ විට අප සොඬින් නෙළුම් මල් ගත් ඇතුන් ගැන අසා ඇත්තේ ඉතිහාස කතා වලය. නමුත් අප දැක ඇති පෙරහර මංගල්‍ය වල නෙළුම් මල් සොඬින් ගත් ඇතුන් නැත. ඇත්තේ බෙර පද තාලයට හෝ වෙනත් අපහසුතාවක් මත් ඒ මේ අත පැද්දෙමින් යන ඇතුන්ය.
එසේනම් මෙම ගීතයේදී ‘‘නෙළුම් මලින් ‘‘ සංකේතවත් කර ඇත්තේ රූපයයි. ස්ත්‍රියක් ගත්විට ඇයගේ ආභරණ අතර ප්‍රධාන තැන හිමි වන්නේ ඇයගේ රූපයටයි.
ඒ අනුව ස්ත්‍රිය පෙරටු කර ගන්නේ රූපයයි. නමුත් එම රූපයම පෙරටු කරගෙන සමාජයේ වෙසෙන සෑම ස්ත්‍රියක්ම වරප්‍රසාද නොලබයි. එසේ තම රූපයෙන් අසීමාන්තික ලෙස වරප්‍රසාද ලබන යම් ස්‍රත්‍රියක් වේද ඇය පිළිබඳ සමාජයේ පවතින්නේ අප්‍රසාදයකි.පිළිකුළකි. ඇය නමින් ‘‘ගණිකාවකි‘‘. පුරාණ සාහිත්‍යයට අනුව එය ඉතා වර්ණනාත්මක රැකියාවක් ලෙස සැළකුව ද වර්ථමානයේ අයුතු ලෙස මුදල් උපයන්නියක් ලෙස ඇය සමාජයෙන් කොන් කරයි.

බතික් රන් පටින් දිදුළන .....ඇතින්නියේ.............

 යනුවෙන් අමතන්නේ  අලංකාර වස්ත්‍රාභරණ වලින් සැරසී ගත් කාන්තාවකටය.
වර්තමානයේ සාමාන්‍ය ස්වරූපය ඉක්මවා අසීමිත ලෙස ශරීරය වර්ණවත් කර ගන්නේ වෛශ්‍යාවන් බව නොරහසකි. එමනිසා අසීමාන්තිකව විලාසිතා කිරීමට සාමාන්‍ය තරුණියකට හිමිවන්නේ ඉතා අඩු ඉඩ කඩකි. එසේ කළ විට සාම්ප්‍රදායිකත්වය ඉක්මවා යන්නනක් ලෙස එය බොහෝ විට සමාජයේ ගර්හාවට ලක් වේ.

‘‘යදම් අමතකද පා බැඳි විලංගුවේ‘‘ යනුවෙන් අදහස් කරන්නේ පා බැඳි යකඩ දම් වැල් ගැන නොව ගැහැණියක් වටා ඇති සමාජමය බැඳීම් ගැනය


           


ප්‍රශ්ණ
 (දෙවන කොටස)
01.   ඇතෙකු අඛණ්ඩව පෙරහැරක යයි ද?
02.   පැටවුන් අඛණ්ඩව කිරී බොයිද?
03.   කිරිබොන වයසේ පැටවුන් සිටින සතෙක් මෙවැනි කාර්යයන් වලට යොදවයිද?


පිළිතුරු

මතුපිට පෙනෙන අරුතින් නම් රචකයා අසන්නේ ‘‘ ඔබ මෙසේ පෙරහැරේ යද්දී ඔබේ පැටවුන්ට කිරි දෙන්නේ කෙසේ ද?‘‘ යනුවෙනි.
නමුත් ඉහත සඳහන් ප්‍රශ්ණ කිරීම් වලින්  සියල්ල ප්‍රායෝගික ලෝකයේ ප්‍රතික්ෂේප වේ.
මෙහිදී සමස්තයක් වශයෙන් මාතෘත්වය සංකේතවත් කරන අතර ‘‘එකී මව වෛශ්‍යාවක් ලෙස සමාජයේ ගර්ජනාවන්ට පාත්‍ර වන විට දරුවන් විසින් මවක් ලෙස ඇයට සළකන්නේ කෙසේ ද ? ඇය මවක් ලෙස දරුවන්ට සළකන්නේ කෙසේ ද? යන පැනය මතු වේ. එවැනි දරුවන් මේ තම මවයැයි සමාජයට ඇයව හඳුන්වා දෙන්නේ කෙසේ ද? මෙහිදී රචකයා ව්‍යංගාර්ථ සාධනයට යොමු වී මේ මව විසින් තම දරුවන් මේ සමාජයේ ම කොතැනක හෝ ‘‘ගාල් කර‘‘ දරුවන් ලෙස ඔවුන්ට භුක්ති විඳීමට ඇති නිදහස සීමා කර ඇති බව ද පවසයි.


ප්‍රශ්ණ
 (තෙවන කොටස)
01.   කොයිම අවස්ථාවකදීවත් පෙරහැරේ යන අලි ඇතුන්ට නරඹන්නන් වන්දනාමාන කරනු අප දැක ඇත්ද?
02.   එසේම පෙරහැරක් වට කර ගෙන නරඹන්නන් සිටිද්ද?

පිළිතුරු

බොහෝ විට අප අසා ඇත්තේ ‘‘දළදා කරඬුව වඩම්මවන අවස්තාවේ‘‘ නම් මිනිසුන් නැගිට ආචාර කරන බවයි.  එසේ ආචාර කරන්නේත් දළදා කරඬුවටය. නමුත් මෙම ගීතයට අනුව සළකා බලද්දී ස්ත්‍රී ලිංග සතෙකු පිට කරඬුව වඩමවන්නේ නැත.

එසේම පෙරහැරක් යනු එක දිගට ගමන් ගන්නා සංස්කෘතිකාංගයකි.  එය වටකරගෙන නරඹන්නන් නොරැඳෙන අතර දෙපස සිට එය නරඹයි.


 

ස්ත්‍රියක වේවා පුරුෂයෙකු වේවා වටවී මිනිසෙකු වෙනුවෙන් වන්දනා මාන කරන්නේ ජිවිතයේ එකම එක අවස්ථාවක පමණි. එනම් මරණ මංචකයේ දීය. මෙහි දී රචකයා පවසන්නේ ‘‘ එසේ මිනිසුන් වටකරගෙන නුඹට ආචාර කළේ නුඹ පෙරටුවේ තබා ගනිමින් අලෙවි කළ නුඹේ රූපයට නොව (නෙළුම්මල) , නුඹේ මාතෘත්වයටයි.‘‘ ‘‘නුඹ එසේ කැප කිරීම් කළේ නුඹේ දරුවන් ජීවත් කරවීමේ උතුම් කාර්යය වෙනුවෙන් ‘‘ යනුවෙනි.

 සමස්තයක් ලෙස මෙම ගීතමය අවස්තාව  ‘‘සොඬින් නෙළුම් මලක් ගෙන පෙරහරක යන ඇතෙකු ‘‘ ගැන කියවෙන කතාවක් නොව සමාජයේ පවතින දුක්ඛිත සමාජ තත්ත්වයක්  ඉතා බැරෑරුම්ව කියන ගීතමය අවස්ථාවකි.

ඇතැම් විට මෙම සංකල්ප රූප පෙරහරක සෙයියාවෙන් අසන ශ්‍රාවකයා තුළ මැවෙන්නේ ඒ සඳහා යොදා ගෙන ඇති සංගීතමය වටපිටාව නිසා විය හැකිය. (මෙහිදි මා අදහස් කරන්නේ එහි අනුචිත බවනම් නොවේ) ඇතෙකුගේ ගාම්භිරත්වය  මතු කිරීමට තනු නිර්මාපකයා ‘‘සැක්සපෝනය‘‘ යන අපරදිග සංගීත භාණ්ඩය පෙරදිග හා දේශීය සංගීත භාණ්ඩ සමග අපූරුවට යොදා ගෙන තිබේ .

එමෙන්ම මෙම ගීතයේ දෙවන පෙළ අරුතක් මිට පෙර සමූහයේ ‘‘ඉඳුනිල්‘‘ සොයුරු විසින් ඉදිරිපත් කර තිබෙනු දුටු අතර ඔහුගේ අරුත් ගැන්වීමට මේ තුළින් කිසිදු හානියක් නොවේ යැයි  ද මා විශ්වාස කරමි.

මෙම සමූහයේ උසස් පෙළ සිසුන් හෝ විශ්ව විද්‍යාල ප්‍රථම වසර විද්‍යාර්ථීන් සිටිත් නම් ඔවුන්ට මෙම විචාර ආකෘතිය ප්‍රයෝජනවත් වේ යැයි ද සිතමි. මන්ද යත් සාහිත්‍යයේ එන ‘‘ද්වනිතාරථ සාදනය‘‘(කියන දේ නොව කියැවෙන දේ හඳුනා ගැනීම) යන අභ්‍යාසයට මෙම ගීතය කදිම නිදසුනක් වක නිසාය.

නිදහස වෙනුවෙන් සටන් කොට - නිදහස විඳිමට වරම් නොලද - භාරතීය සාහිත්‍යයේ වීරවරිය,සුබද්‍රා කුමාරි චෞහාන්




වීර සෙබළියක මෙන් යුද අවියක් අතට නොගත්ත ද, ලේඛන හැකියාව අවිය කොට ගෙන, එමඟින් පරගැති ජනතාව දරන අදහස් ඉතා සියුම් ලෙස වෙනස් කිරීමටත්, රටේ නිදහස වෙනුවෙන් සටන් කරන ජනතාවගේ උදාරතර සිතුවිලි ශක්තිමත් කිරීමටත් හැකි වන කාන්තාවන් සිටින්නේ ලොව අල්ප තරමින්ය
ඇයගේ කාව්‍ය නිර්මාණවල අන්තර්ගත වීර රසයෙන් කුල්මත් වූ සහ දිරිමත් වූ ජන නායකයින්, දේශපාලන කටයුතුවල නියැළුණේ ජාතිමාමක හැඟීමෙන් යුතුව මිසක පටු පරමාර්ථ උදෙසා නොවෙයි.
හින්දි සාහිත්‍යයේ නූතන යුගයේ’ (19 වන සියවසේ අග භාගයෙන් ආරම්භ වන යුගය) ජනප්‍රිය මෙන් ම ගෞරවයට පාත්‍ර වූ ‘‘‘‘‘‘සුභද්‍රා කුමාරි චෞහාන්‘‘‘‘‘ නම් මේ කිවිඳිය විසින් රචනා කරන ලද කාව්‍යයන්,
ස්වතන්ත්‍රතා සංග්‍රාමයේ ඇලී-ගැලී සිටි භාරතීයන්ගේ මුවගට ගීතයක් විය.
එම කාව්‍යයන්හි ඇති අභිමානවත් හැඟීම ඔවුන්ගේ ලේ නහර පිනවී ය.
ගමක් ගමක්, නගරයක් නගරයක් පාසා එහි නාදය රැව් දුන්නේය.
තත්කාලීන සාමාජික සහ දේශපාලනික පසුබිම්, රටේ ඉතිහාසය සමඟ මුසු කරමින් ඇය ප්‍රබන්ධ කළ කාව්‍යවලින් ජනතාවගේ සිත්වල ප්‍රකෝපකාරී හැඟීම් උද්දීපනය නොවී ය.
එහෙත් මාතෘ භූමිය පිළිබඳ අභිමානනීය හැඟීම් උද්දීපනය වීමෙන් පරාධීනත්වයෙන් දේශය නිදහස් කර ගැනීමේ පෙරැළියකට ඔවුන්ගේ සිත් පෙලඹුණු බව සත්‍යයකි.
ඇය පබැඳූ දේශ ශක්ති කාව්‍යවල ඇති ‘‘නැවුම් බව, සරල බව සහ ප්‍රාණවත් බව ‘‘සිසිල් සුළඟක් මෙන් දේශය පුරා හමා ගියේ ය. ජනතාවගේ සිත්වල ඇති වූයේ තම ජීවිතය වුව ද පරිත්‍යාග කොට පරතන්ත්‍ර භාවයෙන් මව් බිම නිදහස් කර ගැනීමේ උදාරතර හැඟීම යි.



 


මේ අග්‍රගණ්‍ය කිවිඳිය විසින් රචනා කළ බොහෝ කාව්‍ය නිර්මාණ මඟින් පිළිබිඹු වන්නේ බ්‍රිතාන්‍යයන්ගේ කුරිරු පාලනයේ ස්වභාවය යි. බ්‍රිතාන්‍යයන් විසින් භාරතීය ජනතාව වහල් කොට ගෙන, ඔවුන්ගේ ශ්‍රමය සූරා කන ආකාරය මෙන් ම ඔවුන්ගේ ජන ජීවිතයට එල්ල වන හිරිහැර ආදී කරුණු, කාව්‍ය අනුභූතීන් ලෙස යොදාගෙන ඇත.
යටත් විජිත පාලන ක්‍රමය නිසා ජනතාවට අත්වන ඉරණම පිළිබිඹු වන මෙම කාව්‍යයන්හි පද භාරතීයන්ගේ මුවගට නැගෙන්නේ නිරායාසයෙනි. එම කාව්‍ය සංදර්භයන් සඳහා ඈ ප්‍රාණවත් භාෂාවක් භාවිත කළාය. පරාධීනත්වයට යටපත් ව, දුබල ව පීඩිත ව සිටි ජනතාව දෙපයින් නගාසිටුවීමට තරම් එම භාෂාව ප්‍රබල විය. එහි ඇති සජීවී බව වර්තමානයේ වුව ද නොවෙනස් ව පවතී.
ඇගේ සාහිත්‍ය නිර්මාණ අතර ‘‘‘‘ඣාසී කී රානී’‘‘‘ (ඣා සී හි රැජින) නම් කාව්‍ය පංතිය ජනතාව අතර ඉතා ප්‍රසිද්ධියට පත් වූ කාව්‍ය නිර්මාණයකි. භාව රසයෙන් පරිපූර්ණ මෙම කාව්‍ය පංතියෙන් නිරූපණය වන්නේ ඣා සී ප්‍රදේශයේ රැජිනක වූ ‘‘ලක්ෂ්මීබායි‘‘ ගේ වීර චරිතයයි. වීර කාන්තාවක ලෙස ඇය බ්‍රිතාන්‍ය හමුදාව සමඟ යුද වැදුණු ආකාරය, ඇගේ රණ ශූරත්වය, ධෛර්යය සහ ජීවිතය පරිත්‍යාග කළ ආකාරය පිළිබඳ වර්ණකය වන මෙම කාව්‍යය, දේශප්‍රේමී භාරතීයයන්ගේ සිත්වල ස්වාධීන චින්තනය ඇති කිරීමටත්, උද්වේගකාරී හැඟීම් ඇති කිරීමටත් සමත් විය.
ප්‍රකට කවියෙකු වූ ‘‘ගජානන් මාධව් මුක්තිබෝධ්‘‘ ඇගේ සාහිත්‍ය සේවය පිළිබඳ වර්ණනා කර ඇත්තේ මේ ආකාරයට ය.


 


”‘‘‘‘කාව්‍ය සාහිත්‍යයේ නව ප්‍රවණතාවන්, සංකල්පනාවන් කැටි කොට ගත්, සුභද්‍රා කුමාරී නම් කිවිඳියගේ කාව්‍ය නිර්මාණ, හින්දි සාහිත්‍යයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරයි. ඇගේ බොහෝ කාව්‍යවලින් රන් කිරණ ධාරාවක් මෙන් දිස්වන්නේ නිදහස් අරගලයට පණ පෙවූවන්ගේ ආත්ම විශ්වාසය, යෞවනත්වය සහ කැපවීම යි.‘‘‘‘‘
තත්කාලීන දේශපාලන, සාමාජික, සංස්කෘතික සහ ආගමික පසුබිම පිළිබඳ මනා අවබෝධයකින් රචනා කළ එම කාව්‍යවල මූලික විෂය වූයේ දේශ භක්තිය යි. ඇය සාහිත්‍යය මාධ්‍ය කොට ගෙන, දේශයට කළ සේවය අතිමහත් ය. පරගැති බව දේශයෙන් තුරන් කිරීම සඳහා ලේඛන හැකියාවෙන් දැක්වූ දායකත්වය අනන්ත ය. ඇයගේ කාව්‍යවල භාෂාව තියුණු ය. මුවහත් ය. එය මිනිසුන් තුළ රණකාමිත්වය සහ දේශ මමත්වය ජනිත කරවීමට සමත් වුව ද කාව්‍යාත්මක ය. රසවත් ය. කාව්‍ය සංකල්පනාවට කැටි කළ සෑම වචනයකම අරුත ඇය ක්‍රියාවට නැංවූයේ සියලු ම භාරතීය කාන්තාවන් නියෝජනය වන පරිදි ය.
කිවිඳියක් පමණක් නොවූ ඈ, කෙටිකතා නිර්මාණයට ද නැඹුරු වූවා ය. එමඟින් පවතින වාතාවරණයෙහි යථාර්ථ ස්වරූපය ජනතාවට අවබෝධ කිරීමට උත්සහ කළා ය. තම අත්දැකීම් විෂය කොට ගත් සාහිත්‍ය නිර්මාණයන්ගෙන් ඇය සෙවූයේ දේශයේ විමුක්තිය යි.



 

තම ලේඛන හැකියාවෙන් භාරතීය ස්වතන්ත්‍රතා ආන්දෝලනයයේ සක්‍රියතාව දෙගුණ තෙගුණ කළ ඈ, මහජනතාව නියෝජනය කරමින් කටයුතු කිරීමට දේශපාලනයට ද පිවිසියා ය. ඒ අනුව 1923 දී, ‘‘කොංග්‍රස් පක්ෂයේ ‘‘ සාමාජිකාවක ලෙස ‘‘‘ජබල්පූර් නගර සභාවට‘‘‘ තේරී පත් වූ ඇයගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීම යි. එහි දී සත්‍ය දේශපාලන න්‍යායන් අනුගමනය කිරීමට හැම විට ම ඈ උත්සාහ දැරුවා ය. එහෙත් බ්‍රිතාන්‍යයන්ගේ පාලන ක්‍රමයේ දැඩි නීති රීතිවලට විරුද්ධව ක්‍රියා කිරීම නිසා 1923 දී සහ 1942 දී ඇයට සිරගත වීමට ද සිදු විය.
කෙසේ නමුත් සුභද්‍රා කුමාරී චෝහාන්යනු භාරතයේ නිදහස වෙනුවෙන් හඬ නගමින් දේශයේ උන්නතිය වෙනුවෙන් කාන්තාවට කළ හැකි කාර්යය සුළුපටු නොවන බව ඔප්පු කළ වීර කාන්තාවකි. භාරතීය ස්වතන්ත්‍රතා ආන්දෝලනයේ ක්‍රමවත් ගමනට ශක්තියක් වූ ඇගේ සාහිත්‍ය නිර්මාණ, අතීතය තුළ වැළලී සැඟව නොගියේ ය. එම නිර්මාණ වර්තමානයේත් අනාගතයේත් එක සේ රස විඳිය හැකි නිර්මාණ බවට පත්විය. නිදහස භුක්ති විඳින භාරතීයයන්ගේ හදවත්වල ඇගේ නාමය අමරණීයත්වයට පත් වූවා සේ ම නිදහස් සටන තුළ ඈ කළ භූ®මිකාව ද භාරතීය ඉතිහාස කතාවෙන් නොමැකෙන්නේ ය.
වර්ෂ 1904 පෙබරවාරි 15 වන දින භාරතයේ පිනට පහළ වූ මේ කාන්තාවට, අවසාන මොහොත වෙනුවෙන් ලබා ගන්නට තමා සටන් කළ නිදහස නිදහසේ භුක්ති විඳිමට ඉඩ අවකාශ නොලැබීම අවාසනාවට කරුණකි.
ඒ මන්ද යත් 1948 දී හදිසි අනතුරකින් ඇය මිය යාමයි.

;;;;ඇස්දෙක=මිතුදම;;;;;;;


ඇරුණත්  පියවුනත්  එකට
ඇඬුවත්  හිනැහුනත්  එකට
බැලුවත්  නොබැලුවත්  එකට 
නොපෙනේ   ඇසක්  අනෙකකට......

දකිනා දෙයින් එපිටකට
දැනෙනා බොහෝ දේ එමට
මතුදම් කලණ එක ලෙසට
සමවේ උතුම් දෙඇසකට..........